දේශපාලනික එක්වීමකට සූදානම්


තායිවානය සමඟ සාමකාමී දේශපාලන එක්වීමක් අපේක්ෂා කරන බවත්, චීනය ඊට සූදානම් බවත්, චීන ජනාධිපති ෂී ජින්පින් පවසා ඇත. චීන ජනාධිතිවරයා මෙසේ පවසා ඇත්තේ, තමන් ආක්‍රමණය කිරීමට චීනය සූදානම් වෙනවා යැයි තායිවානය දිගින් දිගටම පැවැසීමත් සමඟය.

තායිවානය යනු චීනය අසල පිහිටි දූපතකි. ක්‍රි.පූ. 239 දී චීන අධිරාජ්‍යයකුට අයත් ගවේෂණ කණ්ඩායමක් මෙම දූපත ගවේෂණය කළ අතර ඒ අනුව ජනාවාස පිහිටුවා ගැනීම සිදුවිය. පසු කාලීනව විදේශීය කොලනියක් ලෙස ද තායිවානය පැවැතිණි. අද තායිවානය වෙනම රාජ්‍යයක් ලෙස කටයුතු කළත්, චීනය තවමත් තායිවානය එරට කොටසක් ලෙස සලකයි.

චීන හමුදාවේ ප්‍රහාරක ජෙට් යානා 'සැලකිය යුතු ප්‍රමාණයක්' තායිවාන ගුවන් සීමාව විටින් විට උල්ලංඝනය කරන බවට තායිවානය පසුගිය දා චෝදනා කරන්න විය. චීනයේ කෙණෙහිලිකම් දිනෙන් දින උත්සන්න වෙමින් පවතින බවත්, වසර 2025 වෙද්දී, චීනය මුළුමනින්ම තායිවානය ආක්‍රමණය කරනු ඇති බවත් තායිවාන ආරක්ෂක අමාත්‍ය චීයු කුඕ චෙංග් බිය පළ කර තිබේ.

චීනයත්, තායිවානයත් අතර පවතින නොසන්සුන්කාරී තත්ත්වය වසර 40 ක් ඇතුළත ඉතාමත් දරුණු අතට හැරී ඇතැයි ද ආරක්ෂක කටයුතු අමාත්‍යවරයා එම අවස්ථාවේදී පෙන්වා දී ඇත.

මේ අතර චීනයෙන් එල්ල වන තර්ජනවලට මුහුණ දෙන්න, ඇමෙරිකාව රහසේ තායිවාන හමුදා සොල්දාදුවන් පුහුණු කරන බව ද විදෙස් මාධ්‍ය අනාවරණය කර තිබේ. ඇමෙරිකාව මෙසේ චීනයට හොරා තායිවාන හමුදා සොල්දාදුවන් පුහුණු කිරීම ආරම්භ කර ඇත්තේ පසුගිය වසරේ සිට යැයි ද පැවැසෙයි.

මේ සියලු කරුණු කාරණා සැලකිල්ලට ගනිමින් චීන ජනාධිපති ෂී ජින්පින් තායිවානය සමඟ සාමකාමී දේශපාලන එක්වීමක් අපේක්ෂා කරන බවය. ගැටුම් ඇති කර ගැනීමට කිසිසේත් අවශ්‍ය නොවන බව ද චීන ජනාධිපතිවරයා තායිවාන රජයට පැහැදිලි කර තිබේ.

(රොයිටර්)