නයිජීරියාවේ ඊසාන දිග බෝර්නෝ ප්‍රාන්තයේදී පසුගිය මාසයේ පැහැරගෙන ගිය ස්වෙච්ඡා සේවකයින් පස්දෙනා ඝාතනය කර ඇතැයි වාර්තා වේ.
නයිජීරියානු බලධාරීන් පවසන්නේ ජිහාඩ් සටන්කරුවන් විසින් මොවුන් පැහැරගත් බවයි.
මෙම ස්වෙච්ඡා සේවකයින් මානුෂීය ආධාර සංවිධාන ඇතුළු ආයතන කිහිපයක සේවය කරමින් සිටියදී පැහැරගත් බව නයිජීරියානු ජනාදිපතිවරයා සනාථ කර තිබේ.
ඔහු බෝකෝහරාම් සංවිධානයට දොස් පැවරූ අතර ඝාතකයින් නීතිය හමුවට පමුණුවන බවද පැවසුවේය.
කළාපයේ ආධිපත්‍ය දරන ඉස්ලාමීය කණ්ඩායම් වල ඉතිරිව ඇති කොටස් අතුගා දමන බවට ද ඔහු ප්‍රතිඥා දී ඇත.
නයිජීරියාවේ එක්සත් ජාතීන්ගේ සමිබන්ධීකාරක එඩ්වඩ් කලන් පැවසුවේ "උදව් කිරීමට උත්සාහ ගන්නා අයට පහර දී මරා දැමීම පිළිගත නොහැකි " බවයි. කෙසේ වුවද මෙවැනි සිදුවීම් මගින් අධාර ක්‍රියාවලිය පසුබෑමකට ලක්වන්නේ නැති බවද ඔහු සඳහන් කරයි.
වසර 10ක පමණ කාලයක් තිස්සේ නයිජීරියාවේ පවතින ගැටුම් වලින් දහස් ගණන් ජනයා මියගොස් ඇති අතර තවත් බොහෝ දෙනා අවතැන් වී සිටිති.
(බීබීසී ඇසුරිනි - 085)