නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩේන්ගේ පක්ෂයට අති විශිෂ්ට ජයක්


නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩේන් මහත්මිය එරට පැවති මහ මැතිවරණයෙන් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබා තිබේ.

ආර්ඩ්න් මහත්මියගේ වාමාංශික කම්කරු පක්ෂය  49%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් ආසන 64ක් හිමිකරගත් අතර දක්ෂිණාංශික ජාතික පක්ෂයට ලබාගැනීමට හැකිවූයේ 26.8%ක ප්‍රතිශතයක් සමග ආසන 35ක් පමණකි. නවසීලන්ත පාර්ලිමේන්තුව ආසන 120කින් සමන්විතය.

මෙම ඡන්ද විමසීම පසුගිය සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ නමුත් කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් මාසයකට කල් තැබූ මැතිවරණය ඊයේ (17) පවත්වන ලදී.

ජයග්‍රහනයෙන් පසු සිය ආධාරකරුවන් අමතමින් ආර්ඩේන් මහත්මිය මෙසේ පැවසුවාය, "නවසීලන්තය වසර 50කට ආසන්න කාලයක් තුළ ලේබර් පක්ෂයට ලොකුම සහයෝගය පෙන්නුම් කර ඇත. අපි ඔබේ සහයෝගය සුළුකොට නොතකමු. සෑම නවසීලන්ත වැසියෙකුටම සමානව සලකන රජයක් බිහිකිරීමට අපි පොරොන්දු වෙමු."

මේවනවිට 40 හැවිරිදි වියේ පසුවන ජසින්ඩා මහත්මිය දේශපාලනය පිවිසියේ 17වන වියේදීය. ඒ කම්කරු පක්ෂයේ සාමාජිකාවක බවට පත්වෙමිනි. ඇය නවසීලන්තයේ තුන්වන කාන්තා අගමැතිනියයි. ඇයට පෙර ජෙනී ෂිප්ලේ (1997 - 1999) සහ හෙලන් ක්ලාක් (1999 - 2008) නවසීලන්තයේ අගමැති ධූර හොබවා තිබේ.
 
 (රොයිටර් පුවත් ඇසුරිණි - 085)