නෙදර්ලන්තයේ වෙඩි තැබීමකින් තුනක් මරුට


නෙදර්ලන්තයේ රොටර්ඩෑම් නුවර සිදුවුණු තැබීම්වලින් තිදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත් දෙදෙනකු තුවාල ලැබූ බවත් වාර්තා වේ. වෙඩි තැබීම කළේ 32 හැවිරිදි තරුණයෙකි. පොලිසිය ඔහු ජීවග්‍රහයෙන් අල්ලා ගත් බව පැවැසෙයි.

වෙඩි තැබීම් සිදුවූයේ එකිනෙකට වෙනස් ස්ථාන දෙකකය. වෙඩි තැබීම කළ තරුණයා රොටර්ඩෑම් ඉරාස්මුස් විශ්ව විද්‍යාලයේ සිසුවෙකි. පළමු වෙඩි තැබීම විශ්ව විද්‍යාලය අසල නිවසක සිදුවුණු අතර, දෙවැනි වෙඩි තැබීම සිදුවූයේ විශ්ව විද්‍යාලයට අයත් වෛද්‍ය මධ්‍යස්ථානයේදීය.

39 හැවිරිදි කාන්තාවක්, ඇගේ 14 හැවිරිදි දියණිය පළමු වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්වූහ. වෛද්‍ය මධ්‍යස්ථානයේ වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත් වූයේ විශ්ව විද්‍යාලයේ 43 හැවිරිදි මහාචාර්යවරයෙකි. වෙඩි තැබීමට හේතුව අනාවරණය වී නැත. සිද්ධිය ගැන විමර්ශන ආරම්භ කර තිබේ.

වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන් කම්පනයට පත්වුණු බව නෙදර්ලන්ත අග්‍රාමාත්‍ය මාර්ක් රූට් පවසා තිබේ. එය ත්‍රස්ත ක්‍රියාවක් නොවන බවත්, පෞද්ගලික කාරණාවක් නිසා වෙඩි තැබීම සිදුවන්න ඇති බවත් ආරක්ෂක අංශ තමන්ට දැනුම් දී ඇතැයි අග්‍රාමාත්‍යවරයා මාධ්‍යවේදීන් හමුවේ පවසා තිබේ.