ප්‍රංශයත් කොරෝනා වැළඳ ගනී


කොරෝනා වයිරසය ප්‍රංශය තුළ වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇතැයි ද කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ යා හැකි යැයි ද ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් අද (27) පැවැසීය.

‘‘අපට වසංගත තත්ත්වයකට මුහුණ දෙන්න වෙනවා. එයට මුහුණ දීමට හැකි සෑම දෙයක්ම අපි කරනවා. අපි අර්බුදයකට මුහුණ දී සිටිනවා’’ යැයි ද පැරිස් නුවර රෝහලක කාර්ය මණ්ඩලය අමතමින් ප්‍රංශ ජනාධිපතිවරයා කීවේය.

ලොව පුරා වේගයෙන් පැතිර යන කොරෝනා වයිරසය ආසාදනය වූ ප්‍රංශ ජාතිකයකු මරණයට පත්ව ඇතැයි එරට බලධාරීහු ප්‍රකාශ කළහ.

මේ අනුව කොරෝනා වයිරසය හේතුවෙන් ප්‍රංශ ජාතිකයකු මරණයට පත්වූ පළමු අවස්ථාව මෙය වූ අතර හෙතෙම කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමට පටන් ගත් හෝ එවැනි සිදුවීම් වාර්තා වූ කිසිදු ස්ථානයකට හෝ ගොස් නැතැයි ද සෞඛ්‍ය බලධාරීහු කීහ.

මෙම මරණය ප්‍රංශයෙන් වාර්තා වූ දෙවැනි මරණය වන අතර මීට පෙර චීන සංචාරයකු ප්‍රංශයේ දී මරණයට පත්විය.

කොරෝනා වයිරසය ආසාදනය වී මියගිය තැනැත්තා එරට පාසලක ගුරුවරයකු බවත් ඔහු කිසිදු අවස්ථාවක කොරෝනා වයිරසය නිසා අවදානමකට ලක්ව ඇති කිසිදු නගරයකට හෝ ස්ථානයකට හෝ ගොස් නැති බවත් ප්‍රංශ බලධාරීහු කීහ.

අසනීප තත්ත්වයක් නිසා මරණයට පත් මෙම ගුරුවරයා පෙබරවාරි 12 වැනිදා නිවසේ නැවැතී ඇති අතර ඊයේ රෝහල් ගත කර ඇත.

ගුරුවරයා 60 හැවිරිදි පුද්ගලයකු බවත් ඔහුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී ඇත්තේ මිය යෑමට ටික වේලාවකට පෙර බවත් වාර්තා විය.

 

ඒඑෆ්පී

 

(055)