රික්ටර් පරිමානයේ ඒකක 7.7 ක් සහ 6.4 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පා දෙකකින්, මියන්මාරය කැලඹිණි.
භූමි කම්පාවලින්, නිවාස සහ ගොඩනැගිලි රැසකට හානි සිදුවුණු බවත්, ජීවිත හානි වාර්තා වන බවත් මියන්මාර මාධ්‍ය පවසයි. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ සියයකට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වන්න ඇති බවත්, පන්සියයකට ආසන්න පිරිසක් තුවාල ලබා සිටින බවත්ය.
භූමි කම්පාවෙන් විනාශ වුණු නිවාස සහ ගොඩනැගිලි ගණන සම්බන්ධයෙන් හෝ ජීවිත හානි පිළිබඳව හෝ ඊයේ (28) සවස් වන විටත් කිසිදු නිල තොරතුරක් වාර්තා වී තිබුණේ නැත.
රික්ටර් පරිමානයේ ඒකක 7.7 ක් සටහන් කළ පළමු භූමි කම්පාව හටගත්තේ, මියන්මාරයේ වයඹ දෙසින් පිහිටි සගායිංග් නගරයට ආසන්නයෙනි. ඒ, දහවල් 12.50 ට පමණය.
රික්ටර් පරිමාණයේ ඒකක 6.4 ක් සටහන් කළ දෙවැනි භූමි කම්පාව හටගත්තේ පළමු භූමි කම්පාවෙන් පසු මිනිත්තු කීපයක් යද්දීය.
මියන්මාර පුවත් සේවා අනුව, බිමට සමතලා වුණු නිවාස සහ ගොඩනැගලි අතරේ සිරවුණු පිරිස් සිටින බවත්, ඔවුන් මුදා ගැනීමට දිවි ගලවා ගැනීම් මෙහෙයුම් ආරම්භ කර ඇති බවත් පැවැසෙයි.
මියක්මාරය පාලනය කරන්නේ එරට හමුදාවය. ඒ ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සූ කී සහ ඇගේ දේශපාලන පක්ෂ නායකයන් සිරගත කරමිණි. හමුදා පාලනය හේතුවෙන්, මියන්මාරය ලොවෙන් හුදෙලා වුණු ආසියානු බෞද්ධ රාජ්‍යයකි.
මියන්මාරයේ අසල්වැසියකු වන්නේ තායිලන්තයයි. භූමි කම්පාවල ප්‍රබලත්වය තායිලන්තයේ බැංකොක් අගනුවරට පවා හොඳින් දැණුනු බව විදෙස් මාධ්‍ය පවසයි.