පාකිස්තානය - ඉන්දියාව නිදහස සමරයි


පාකිස්තනය සහ ඉන්දියාව නිදහස සමරයි. පාකිස්තානය ඊයේ (14) සැමරුවේ 76 වැනි නිදහස් දිනය වන අතර, ඉන්දියාව අද (15) සමරන්නේ 77 වැනි නිදහස් දිනයයි.

පාකිස්තානයේ ඉස්ලාමාබාද්, කරච්චි ඇතුළු නගර කීපයක නිදහස් දින සැමරුම් පැවැත්විණි. පාකිස්තාන ජනාධිපති අරීෆ් අල්වී ජනාධිපති මන්දිරයේ දී පාකිස්තාන ධජය ඔසවමින් නිදහස් දින සැමරුම් උත්සවය ආරම්භ කළේය.

ඉන්දියාව අද (15) ඉතා උත්කර්ෂවත් අන්දමින්, ඔවුන්ගේ නිදහස් දින සැමරුම් පැවැත්වීය. ප්‍රධාන සැමරුම් උත්සවය පැවැත්වූයේ නවදිල්ලි අගනුවර රතු බලකොටුව කේන්ද්‍රකොට ගනිමිනි.

ඊට විශේෂ ආරක්ෂාවක් ද යෙදවිණි. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ආරක්ෂක අංශ සාමාජිකයන් 10,000 ක් ආරක්ෂාවට යෙදවුණු බවය.

නිදහස් දින සැමරුමට සහභාගී වෙමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජාතිය ඇමතුවේය.

ඒ සඳහා ගතවුණු කාලය මිනිත්තු 90 කි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයකු වැඩිම කාලයක් ගත කරමින් නිදහස් දින උළෙලකදී ජාතිය ඇමතූ පළමු අවස්ථාව මෙය යැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.