පාකිස්ථානයේ දුම්රිය අනතුරකින් 19 ක් මරුට


පාකිස්තානයේ නැගෙනහිර ප්‍රදේශයකදී  මගී වෑන් රථයක් දුම්රියක ගැටී සුළුතර සික් ප්‍රජාවට අයත් වන බැතිමත්හු 19 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

මියගිය පුද්ගලයෝ අතර කුඩා ළමයින් දෙදෙනෙක් ද වෙති.

අනතුර සිදු වී ඇත්තේ ෂෙයිකිපුර නගරයට ආසන්න  දුම්රිය හරස් මාර්ගයකදීය.

වෑන් රථයේ ගමන් කළ මියගිය සියලු දෙනා  පාකිස්තානයේ බටහිර ප්‍රදේශයේ පිහිටි පෙෂාවර් නගරයේ පදිංචිකරුවෝ වෙති.

ඔවුන් නන්කානා සාහිබ් නගරයේ සිට ෆාරුකාබාද් නගරය දක්වා ගමන් කරමින් සිටියදී අනතුර සිදුව ඇත.

පෙෂාවර් නගරයේ සික් ජාතිකයෝ 40,000 කට ආසන්න පිරිසක් ජීවත් වෙති.

ඉන්දියානු දේශ සීමාවට මායිම්ව  නැගෙනහිර පාකිස්තානයේ ලාහෝර් හි පිහිටි නන්කානා සාහිබ් සික්වරුගේ පූජනීය නගරයකි. සික් ආගමේ නිර්මාතෘවරයා වූ ගුරු නනක් පූජකවරයාගේ උපත මෙම නගරයේ සිදුව ඇත.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මහතා අනතුර සම්බන්ධයෙන් සිය කණගාටුව පළකර ඇත.

ඉන්දියාව හා පාකිස්ථානය අතර දිගින් දිගටම මතභේදාත්මක තත්ත්වයක් පැවතියද සික් ජාතික බැතිමතුන්ට ආගමික කටයුතු සඳහා ඉන්දියාවේ සිට පාකිස්ථානයට පැමිණීමට විශේෂ දේශ සීමා හරස් මාර්ගයක් ඉදිකිරීමට පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා පියවර ගෙන ඇත.

පසුගිය වසරේ පාකිස්ථානයේ  දුම්රියක ඇතිවූ ගින්නකික් මගීහු 70 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

-226-

රොයිටර් ඇසුරෙනි