පැය 1 යි මිනිත්තු 25 කට ජනපති වෙයි


ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් වෛද්‍ය පරීක්ෂනයක් සදහා රෝහල් ගත කළ බැවින්, උප ජනාධිපතිනිය ලෙස කටයුතු කරන කමලා හැරිස්ට පැය 1 යි මිනිත්තු 25 ක කාලයක් සදහා ඇමෙරිකා ජනාධිපති බලතල හිමිවිය. ඇමෙරිකා ජනාධිපති බලතල කාන්තාවකට හිමිවුණු පළමු අවස්ථාව මෙය යැයි පැවැසෙයි.

ජෝ බයිඩන්, අද (20) සිය 79 වැනි උපන් දිනය සමරයි. ඔහු වෛද්‍ය පරීක්ෂණයට යොමු කෙරුණේ ඊයේ (19) ය. වෛද්‍යවරුන් බයිඩන් නිර්වින්දනය කර ඔහු කොලොනොස්කොපි පරීක්ෂණයක් කළේය. හැරිස් ට ජනාධිපති බලතල හිමිවූයේ මෙම කාලයේය.

වෛද්‍ය පරික්ෂණයෙන් පසු බයිඩන්ගේ සෞඛ්‍ය යහපත් බව ඔහුගේ වෛද්‍යවරු පැවැසූහ. ඉන්පසු සුපුරුදු රාජකාරි සදහා යළි ධවල මන්දිරයට ආ බයිඩන් අද (20) ඩෙලවෙයර් හි සිය නිවස බලා ගියේ පවුලේ සාමාජිකයන් සමග 79 වැනි උපන් දිනය සමරන බව පවසමිනි.

(රොයිටර්)