රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, යුක්රේනයට එරෙහි හමුදා ක්‍රියාමාර්ගයක් ගත්තේ, රුසියන් හමුදා උපදේශකයන් ඔහුට දුන් වැරදි තොරතුරු අනුව යැයි සන්නිවේදන කටයුතු සම්බන්ධ ධවල මන්දිර ප්‍රකාශිකා කේට් බෙඩින්ෆීල්ඩ් පවසයි.
කේට් බෙඩින්ෆීල්ඩ් මෙසේ පවසා ඇත්තේ ඇමෙරිකන් සහ බ්‍රිතාන්‍ය බුද්ධි අංශ ලබා දුන් තොරතුරු අනුවය.
වැරදි තොරතුරු ලබා දීම සම්බන්ධයෙන් රුසියන් ජනාධිපති පුටින් සිය හමුදා උපදේශකයන් සමඟ දැඩි කේන්තියෙන් පසුවන බව ද බුද්ධි අංශ අනාවරණය කර තිබේ. ‘රුසියන් හමුදා ප්‍රධානීන්, ජනාධිපති පුටින් නොමඟ හැර තිබෙනවා. හමුදා උපදේශකයන් ඔහුට ලබා දුන් උපදෙස් අනුවයි ඔහු රුසියාවට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් ගත්තේ. ඒත් එය සාර්ථක වුණේ නැහැ. ඒ ගැන දැන් පුටින් ඉන්නේ කේන්තියෙන්.’ යැයි කේට් බෙඩින්ෆීල්ඩ් පැහැදිලි කළේ ධවල මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවක් අතරතුරේය.
යුක්රේනය ඉතා පහසුවෙන් ආක්‍රමණය කළ හැකි බවත්, බටහිර රටවල් පනවන සම්බාධකවලින් රුසියාවට හෝ රුසියාවේ ආර්ථිකයට හෝ කිසිදු බලපෑමක් නොවනු ඇති බවත් හමුදා උපදේශකයන් පුටින්ට පවසා ඇත. ඊට අමතරව, යුක්රේනය ආක්‍රමණය කරන රුසියන් හමුදාවට යුක්රේන වැසියන්ගේ සහාය ලැබෙනු ඇති බවත්, යුක්රේන හමුදාව අවි බිම දමා රුසියාවට යටත් වනු ඇති බවත් හමුදා උපදේශකයන් පුටින් ට පවසා ඇතැයි කේට් බෙඩින්ෆීල්ඩ් පැහැදිලි කර තිබේ.
හමුදා උපදේශකයන් වැඩිදුරටත් පුටින්ට පවසා ඇත්තේ, රුසියන් හමුදා යුක්රේනය ආක්‍රමණයට ගිය විට, යුක්රේන රුසියන් හිතවාදී වැසියන් එක් වී, රුසියන් හමුදා සමඟ සාදරයෙන් පිලිගනු ඇති බවය.
කෙසේ නමුත් එවැන්නක් සිදු නොවුණු අතර, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීගේ නිර්භීතබව නිසාත්, යුක්රේකන වැසියන් සහ හමුදාව සෙලෙන්ස්කී වටා එක්රොක් වී ප්‍රතිප්‍රහාර එල්ල නිසාත් රුසියන් ආක්‍රමණය පසුබෑමට ලක් වුණු බව ද කේට් බෙඩින්ෆීල්ඩ් වැඩි දුරටත් පවසා තිබේ.
(රොයිටර්)