පුටින්ගේ උපදේශක ධුරයෙන් ඉවත් වෙයි


රුසියානු-යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් හටගත් මත ගැටුම් හේතුවෙන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ උපදේශකවරයකු ලෙස කටයුතු කරමින් සිටි ඇනටොලි චුබෙයිස් එම ධුරයෙන් ඉවත් වී, රුසියාවෙන් ද නික්ම ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇනටොලි චුබෙයිස් යනු, තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ රුසියානු ජනාධිපති නියෝජිතවරයාය. යුක්රේනයේ රුසියානු යුද මෙහෙයුමට එකඟ නොවීම නිසා මෙසේ ඇනටොලි සිය ධූරයෙන් ඉල්ලා අස් වූ බව ඔහුගේ සමීපතමයෙකු රුසියානු මාධ්‍ය වෙත පවසා තිබේ. ඉල්ලා අස්වීමෙන් පසු ඇනටොලි බිරිඳ සමග තුර්කිය බලා පිටත්ව ගියේය.

රුසියානු-යුක්රේන යුද ගැටුම් හේතුවෙන් ඉල්ලා අස්වූ රුසියානු රජයේ ඉහළම නිලධාරියා ඇනටොලි යැයි රුසියානු ආරංචි මාර්ග පවසා තිබේ.

“ඇනටොලි චුබෙයිස් තම ධූරයෙන් ඉල්ලා අස් වුනේ ස්වකැමැත්තෙන්, රුසියාවේ තවදුරටත් ඉන්නවද එහෙම නැත්නම් වෙනත් රටකට යනවාද ඒක ඔහුගේ පුද්ගලික තීරණයක්” යැයි ඇනටොලිගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ක්‍රෙම්ලීන ප්‍රකාශක පවසා ඇත.

(රොයිටර්)