පුටින්ගේ දියණියන්ට හිටපු බිරිඳට සම්බාධක


යුක්රේනය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ තරුණ දියණියන් දෙදෙනාටත්, පුටින්ගේ හිටපු බිරිඳටත් සම්බාධක පැනැවීමට ඇමෙරිකාව පියවර ගෙන ඇත.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ අණ පරිදි, රුසියන් හමුදා යුක්රේනය ආක්‍රමණය කළේ පසුගිය පෙබරවාරි මාසයේය.
එම අවස්ථාවේදී ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පරිපාලනය වහා ක්‍රියාත්මක වී රුසියන් ජනාධිපති පුටින් ඇතුළු රජයේ ඉහළ නිලධාරීන්ට, හමුදා සහ බුද්ධි අංශ ප්‍රධානීන්ට සම්බාධක පැනැවීමක් කළේය.

පුටින්ගේ තරුණ දියණියන් දෙදෙනා වන මරීයා වොරොන්ට්සෝවා සහ ලියුඩිමිලා ෂෙකර්බ්නේවාටත්, පුටින්ගේ හිටපු බිරිඳ ලුඩ්මිලා ටිකෝනෝවාටත් සම්බාධක පැනැවීම සිදුවූයේ රුසියන් යුක්රේන යුද්ධය දිනෙන් දින උත්සන්න වීමත් සමඟය.

ඊට අමතරව, ඇමෙරිකාව රුසියන් විදේශ කටයුතු අමාත්‍ය සර්ගේ ලැව්රෝව්ගේ පවුලේ සාමාජිකයන්ටත්, රුසියන් ආරක්ෂක කවුන්සිල ප්‍රධානී මෙන්ම හිටපු රුසියන් අග්‍රාමාත්‍යවරයකු මෙන්ම ජනාධිපතිවරයකු ද වන දිමිත්‍රි මෙඩ්වදේව්ගේ පවුලේ අයටත් සම්බාධක පැනැවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

(ඒ.එෆ්.පී.)