බංග්ලාදේශයට නොකඩවා ඇද හැලෙන මෝසම් වැසි හේතුවෙන් එරට පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බවත් මිලියන හතරකට උන්හිටිතැන් අහිමි වී ඇති බවත් වාර්තා වේ. ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් මියගිය ගණන 25 කි.
බංග්ලාදේශයට නොකඩවා මෝසම් වැසි ඇද හැලීම සාමාන්‍ය දෙයක් වන නමුත්, මෙවර වෙනදාට වඩා වැඩි වර්ෂාපතනයක් ඇද හැලෙමින් පවතින බව කාලගුණ විද්‍යාඥයෝ පවසති. ඊට හේතුව කාලගුණ විපර්යාස හේතුවෙන් ඇති වූ විපරිත කාලගුණ තත්ත්වය යැයි ද කාලගුණ විද්‍යාඥයෝ පැහැදිලි කරති.
මහ වැසි සහ ජල ගැලීම්වලින් වැඩි බලපෑම් එල්ල වී ඇත්තේ සිහෙත් පළාතටය. බංග්ලාදේශයේ තෙවැනි විශාලතම ගුවන්තොටුපොළ පිහිටා ඇත්තේ සිහෙත් නුවරය. වර්ෂාපතනය සහ ජල ගැලීම් හේතුවෙන් සිහෙත් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වසා දමා ඇති බව ද වාර්තා වේ.
මහ වැසි සහ ජල ගැලීම් හේතුවෙන් මාර්ග අවහිර වී ඇති බවත්, පළාත් රැසකට විදුලිය බලය අහිමි වී ඇති බවත් වාර්තා වේ. බංග්ලාදේශ පුවත් සේවා වාර්තා කර ඇති අන්දමට මේ අයුරින් එරට ජල ගැලීම් හටගෙන ඇත්තේ දශක දෙකකට පසුවය.
විපතට පත්වූවන් මුදා ගැනීමට සහ ඔවුන්ට අවශ්‍ය සහාය ලබා දීමට හමුදාව යෙදවීමට බංග්ලාදේශ රජය පියවර ගෙන ඇත. උන්හිටිතැන් අහිමි වුණු මිලියන ගණනක් දෙනා පාසල් සහ ප්‍රජාශාලාවල පිහිටවූ සහන කඳවුරු වෙත යොමු කර ඇති බව ද වාර්තා වේ.
(එන්.ඩී.ටීවී.)