චීනය සමඟ පවතින ඇයිහොඳයිකම් අර්බුදයකට ලක් කරමින්, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් චීනයට තීරු බදු රැසක් පැනැවීය. ඒ, චීනයේ විදුලි මෝටර් රථ, අර්ධ සන්නායක, බැටරි, වානේ සහ ඇලුමිනියම් නිෂ්පාදන සඳහාය.
විදුලි මෝටර් රථ සඳහා සියයට 100 ක තීරු බදු ද අර්ධ සන්නායක සඳහා සියයට 50 ක තීරු බදු ද සහ චීන විදුලි වාහන බැටරි සඳහා සියයට 25 බැගින් ද තීරු බදු පැනවීමට ජනාධිපති බයිඩන් පරිපාලනය කටයුතු කර තිබේ.
ඇමෙරිකාව පළමුවෙන් චීනයට තීරු බදු පැනවීම් කළේ බයිඩන්ට පෙර, ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරය හොබවද්දීය. ට්‍රම්ප් චීනයට තීරු බදු පැනැවූයේ ඇමෙරිකාවේ රැකියා අවස්ථා චීනය උදුරා ගන්නාවා යැයි චෝදනා නගමිනි.
කෙසේ නමුත් බයිඩන් ජනාධිපති ධුරයට පත්වූයේ චීනය සමඟ යහපත් සබඳතා පවත්වන බවටය. නව තීරුබදු පනවමින් බයිඩන් පෙන්වා දුන්නේ තම පරිපාලනය චීනයට තීරු බදු පනවන්නේ, චීනය සමඟ ගැටීමට නොව, චීනය සමඟ තරඟකාරීත්වයක් පවත්වා ගෙන යෑමට බවය.