ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ ඩෙලවෙයාර් ප්‍රාන්තයේ නිවසින් තවත් රහස් ලියවිලි කීපයක් හමුවී ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර තිබේ.
රහස් ලියවිලි ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ට චෝදනා එල්ල වීමට පටන් ගත්තේ මීට දින කීපයකට පෙර සිටය. පළමුවෙන් ලියවිලි තොගයක් හමුවූයේ බයිඩන්ට අයත් පෞද්ගලික කාර්යාලයකිනි.
ඒ පසුගිය වසරේ නොවැම්බර් මාසයේ එම කාර්යාලය වසා දමා බඩු මුට්ටු හිස් කරද්දීය. ඉන්පසු පසුගිය සතියේ ඩෙලවෙයාර් ප්‍රාන්තයේ නිවසේ ගරාජයෙන් තවත් රහස් ලියවිලි හමුවිය. අලුතින් රහස් ලියවිලි හමුවී ඇත්තේ බයිඩන්ගේ නිවස තුළිනි. ඒ, ගරාජයෙන් හමුවුණු ලියවිලි සම්බන්ධයෙන් විමර්ශන සිදුවෙද්දීය.
පසුගිය නොවැම්බරයේ බයිඩන්ට අයත් පෞද්ගලික කාර්යාලයෙන් හමුවුණු ලියවිලි අතරේ යුක්රේනය, ඉරානය, එක්සත් රාජධානිය සම්බන්ධයෙන් රහස් ලියවිලි තිබුණු බව නීතිපති මෙරික් ගාලන්ඩ් පවසා තිබුණි. නීතිපතිවරයාගේ මැදිහත් වීමෙන් එම ලියවිලි සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කෙරුණි.
විමර්ශන මෙහෙයවන්නේ ස්වාධීන නීතීඥවරයකු වන රොබට් හර් යැයි නීතිපති මෙරික් ගාලන්ඩ් පවසා තිබේ.
2009 සිට 2017 තෙක් කාලයේ බැරැක් ඔබාමා ඇමෙරිකා ජනාධිපති ධුරය හොබවද්දී, උප ජනාධිපති ධුරය හෙබවූයේ ජෝ බයිඩන්ය.
2017 සිට 2019 තෙක් කාලයේ බයිඩන්, පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ ගරු මහාචාර්යවරයකු ලෙස කටයුතු කළ අතර, විශ්ව විද්‍යාලයේ රාජ්‍ය තාන්ත්‍රික සහ ගෝලීය කටයුතු පිළිබඳ කාර්යාලයක් බයිඩන්ට තිබුණි.
පළමුවෙන් රහස් ලියවිලි හමුවූයේ මෙම කාර්යාලය වසා දැමෙද්දීය. මෙම රහස් ලියවිලි මෙන්ම නිවසේ තිබී හමුවුණු ලියවිලි ද බයිඩන් අතට පත් වී ඇත්තේ ඔහු උප ජනාධිපති ධුරය හොබවද්දීය.
උප ජනාධිපති ධුරයෙන් ඉවත් වෙද්දී, බයිඩන් මෙම ලියවිලි ආපසු බාරදීම කළ යුතු නමුත්, ඔහු එසේ කර නැති බවට චෝදනා එල්ල වී ඇත. කාර්යාලයේ තිබී ලියවිලි හමුවීම සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බව බයිඩන් පවසා තිබේ.
කෙසේ නමුත් නිවසේ සහ නිවසේ ගරාජයේ තිබී ලියවිලි හමුවීම සම්බන්ධයෙන් බයිඩන් මෙතෙක් කිසිවක් පවසා නැත. 80 හැවිරිදි ජෝ බයිඩන්, ඇමෙරිකා ජනාධිපති ධුරයට පත් වුණු වයස්ගතම පුද්ගලයා වන්නේ ද බයිඩන්ය.
(රොයිටර්)