දෙවැනි එලිසබත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවය, ඉතා ගාම්භීර අන්දමින්, ලක්ෂ ගණනකගේ සෝ සුසුම් මැද ලන්ඩන් අගනුවරදී පැවැත්විණි.
ලෝක නායකයෝ බොහෝ දෙනකු ද ඊට සහභාගී වූ අතර අවමංගල්‍යය පැවැත්වූයේ එලිසබත් රැජිනගේ වැඩිමල් පුතු චාල්ස් කුමරු ඇතුළු රජ පවුලේ සාමාජිකයන්ගේ ප්‍රධානත්වයෙනි.
96 හැවිරිදි දෙවැනි එලිසබත් මහ රැජිනගේ අභාවය සිදුවූයේ පසුගිය 8 වැනිදාය. ඒ, වනවිට ඇය සිටියේ ස්කොට්ලන්තයේ ඇගේ බැල්මොරාල් මාලිගයේය. ඉන්පසු දේහය ලන්ඩනය බලා රැගෙන ආ අතර, දින 11 ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබුණි.
එම ශෝක කාලය ඊයේ (19) නිමා කරමින් රැජිනගේ අවසන් කටයුතු ඉතා ගාම්භීර අන්දමින් සිදුවිය.
ඕක් ලීයෙන් තැනූ විශේෂ පෙට්ටියක තැන්පත් කළ රැජිනගේ දේහය සහිත අවමංගල රිය පෙරහැර පළමුවෙන් වෙස්ට්මිනිස්ටර් ශාලාවේ සිට වෙස්ට්මිනිස්ටර් දේවස්ථානය දක්වාත්, අවසානයේ වින්ඩ්සර් මාලිගය දක්වාත් රැගෙන ගියේ හමුදා ගෞරව මධ්‍යයේය. මිලියන ගණනක් දෙනා රැජිනට ගෞරව දැක්වීමට මඟ දෙපස රැඳී සිටි බව වාර්තා විය.
දේහය අවසානයේ තැන්පත් කෙරුණේ රැජිනගේ ආදරණිය සැමියා පිලිස් කුමරුන්ගේ මෙන්ම ආදරණීය පියා 6 වැනි ජෝර්ජ් රජුගේ දේහය තැන්පත් කළ සොහොන් ගැබ තුළය.
දේහය වින්ඩ්සර් මාලිගයට රැගෙන එද්දී, මහ රැජිනගේ ආදරණිය ‘කෝර්ගි‘ වර්ගයේ බලු සුරතලුන් දෙදෙනා වන සැන්ඩි සහ මුයික් පමණක් නොව, මහ රැජින ආදරය කළ එමා නමැති කළු පැහැති පෝනියා ද දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා මාලිගායේ සේවකයන් විසින් අවමංගල පෙරහර ගමන් කළ මාර්ගය අසලට ගෙනැවිත් තිබුණි.
(රොයිටර්)