බ්‍රසීල ජනාධිපති රෝහලෙන් යයි


උදරයේ වේදනාවක් සහ දින 10 ක් තිස්සේ නොකඩවා ඉක්කා වැටීම නිසා රෝහල්ගත කෙරුණු බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝ ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගිය බවත්, ඔහු අද (19) සිට සුපුරුදු රාජකාරි ආරම්භ කරනු ඇති බවත් වාර්තා වේ.

2018 වසරේ ජනපති ධුරයට පත්වීමට පෙර, ජන රැලියකට සහභාගී වෙමින් සිටිද්දී, බොල්සරානෝ ට පිහි ප්‍රහාරයක් එල්ල විය.

ප්‍රහාරය එල්ල වූයේ උදරයටය. එයින් බඩවැල් තුවාල වූ අතර, පසුගිය වසර කීපය ඇතුළත ද උදරයට සැත්කම් රැසක් සිදු කෙරුණි.

ඉක්කා වැටීමට හේතුව වී ඇත්තේ එම සැත්කම යැයි පැවැසෙයි.

ඊට අමතරව එම සැත්කමින් පසු බොල්සරානෝ ඖෂධ රැසක් දිනකට භාවිතයට ගන්නා බව ද පැවැසෙයි.

අන්ත දක්ෂිණාංශික නායක ජාර් බොල්සරානෝ ඇතුළත් කෙරුණේ සාඕ පාවුලෝ නුවර විලා නෝවා ස්ටාර් නමැති රෝහලටය.

(රොයිටර්)