බ්‍රසීලයේ මරණ 4,000 පනී


බ්‍රසීලයේ දෛනික ‘කොවිඩ් 19’ මරණ මේ වනවිට පළමු වරට 4,000 ඉක්මවා තිබේ. ගතවුණු පැය 24 ඇතුළත වාර්තා වූ මරණ 4,195 කි. ඒ අනුව, බ්‍රසීලයේ කොරෝනා මරණ 3,37,000 තෙක් ඉහළ ගියේය.

බ්‍රසීලයේ ‘කොවිඩ් 19’ වයිරස වසංගත තත්ත්වයක් නිර්මාණය වූයේ එරට ජනාධිපති ජාර් බොල්සරානෝ වයිරසය අවතක්සේරු කළ බැවිනි. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට නිරන්තරයෙන් චෝදනා එල්ල වෙයි.

රට ලොක්ඩවුන් කරමින්, වයිරස ව්‍යාප්තිය පාලනය කිරීමට සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දුන්නත්, ජනාධිපති බොල්සරානෝ ඊට දිගින් දිගටම විරෝධය දක්වන බව පැවැසෙයි.

බ්‍රසීල සෞඛ්‍ය අමත්‍යාංශයට අනුව, එරට ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන මිලියන 13 පසු කර තිබේ. කෙසේ නමුත් සැබෑ ආසාදිතයන් ගණන මීට වඩා වැඩිවිය හැකි යැයි පැවැසෙයි.

බ්‍රසීලයේ රෝහල් සියල්ල පිරී ගොස් ඇති අතර, කොරෝනා වයිරසය හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සිරුරු වීදිවල ගොඩගැසීමට පටන්ගෙන ඇතැයි ද බ්‍රසීල පුවත් සේවා වාර්තා කරයි. පසුගිය මාර්තු මාසයේ පමණක් බ්‍රසීලයෙන් කොරෝනා මරණ 66,750 ක් වාර්තා විය.

(රොයිටර්)