බ්‍රසීලයේ හිටපු ජනපති බොල්සොනාරෝ රෝහලේ


ඇමෙරිකා ගිය බ්‍රසීලයේ හිටපු ජනාධිපති යාර් බොල්සොනාරෝ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ රෝහලක ප්‍රතිකාර ලබන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. හිටපු ජනාධිපතිවරයා මෙසේ රෝහල්ගත කෙරුණේ ඔහුගේ උදරාබාධ තත්ත්වය උත්සන්න වීමෙන් යැයි වෛද්‍යවරු පවසති.

මේ වනවිට බ්‍රසීලයේ ප්‍රචණ්ඩකාරී විරෝධතා පැවැත්වෙයි. ඒ, නව ජනාධිපති ලෙස දිවුරුම් දුන් වාමාංශික ලූලා ද සිල්වාට එරෙහිවය. විරෝධතා සඳහා සහභාගී වී සිටින්නේ අන්ත දක්ෂිණාංශික හිටපු ජනාධිපති බොල්සොනාරෝගේ ආධාරකරුවන්ය.

පසුගිය 8 වැනිදා ආධාරකරුවන් බ්‍රසීල පාර්ලිමේන්තුවට, ජනාධිපති මන්දිරයට සහ ශ්‍රේෂ්ඨාධිකරණයට කඩා වැදී පහර දී එම ගොඩනැගිලි අත්පත් කර ගත්හ. විරෝධතාකරුවන් උසි ගන්වන්නේ බොල්සොනාරෝ යැයි නව ජනාධිපති ලූලා ද සිල්වා චෝදනා කර ඇති අතර, බොල්සොනාරෝ එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

බොල්සොනාරෝ සිය ආධාරකරුවන්ගෙන් දිගින් දිගටම ඉල්ලා ඇත්තේ සාමකාමීව හැසිරෙන ලෙසටය. බ්‍රසීල ජනාධිපතිවරණය පැවැත්වූයේ පසුගිය ඔක්තෝබරයේය. ලූලා ද සිල්වා එය ජයගත්තේ ඉතා තියුණු සටනකින් පසුවය. බොල්සොනාරෝ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ප්‍රතික්ෂේප කරන අතර බ්‍රසීලයේ දේශපාලන අර්බුදයක් නිර්මාණය වූයේ ඒ අනුවය.

බොල්සොනාරෝ, බ්‍රසීලයේ ජනාධිපති ධුරයට පත් වූයේ 2018 ජනාධිපතිවරණයෙනි. එම ජනාධිපතිවරයට ඔන්න මෙන්න කියා තිබියදී අවසන් ජන රැලියට සහභාගී වී ජනතාව අතරට ගිය බොල්සොනාරෝගේ උදරයට පිහි ප්‍රහාරයක් එල්ල විය. පිහි ප්‍රහාරයෙන් බඩවැල්වලට දරුණු ලෙස හානි සිදුවිය. වෛද්‍යවරුන් එම අවස්ථාවේදී බඩවැල්වලින් කොටසක් සැත්කමකින් ඉවත් කළේය.

ජනාධිපති ධුරය හොබවද්දී ද උදරාබාධ හේතුවෙන් සැත්කම් කීපයකට ලක් කෙරුණි. මේ වනවිට බොල්සොනාරෝ ඇමෙරිකාවේ රෝහල්ගත කෙරුණේ ද උදරාබාධ තත්ත්වයක් හේතුවෙනි.  බාල්සොනාරෝ ඇමෙරිකා ගියේ ලූලා ද සිල්වා පසුගිය පළමු වැනිදා ජනාධිපති ධුරයේ දිවුරුම් දෙද්දීය.

(ඒ.එෆ්.පී.)