බ්‍රිතාන්‍ය ජාතිකයන්ට තෙවැනි මාත්‍රාව දෙයි


වයස අවුරුදු 50 ඉක්මවූ බ්‍රිතාන්‍ය ජාතිකයන්ට කොවිඩ් එන්නතේ තෙවැනි මාත්‍රාව ලබාදීමට සැලසුම් කර  ඇත. ලබන දෙසැම්බරයේ නත්තල් සමය වනවිට වසංගත තර්ජනය මුළුමණින් තුරන් කරගැනීම එහි අපේක්ෂාවය.

මිලියන 67ක් වන බ්‍රිතාන්‍ය ජනගහණයෙන් මිලියන 34.6කට මේ වනවිට කොවිඩ් මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබාදී තිබේ.

මිලියන 15කට පමණ දෙවන එන්නත් මාත්‍රාව ද ලබාදී ඇති බව එරට රජයේ සංඛ්‍යාලේඛනවල දැක්වේ.

මේ අනුව නොවැම්බර් මාසය වනවිට අවුරුදු 50 ඉක්මවූ පුද්ගලයන් සියලුමදෙනාට තෙවැනි එන්නත් මාත්‍රාව ලබා දී අවසන් කිරීමට බ්‍රිතාන්‍ය සෞඛ්‍ය බලධාරීන් අපේක්ෂා කරයි.

තෙවැනි එන්නත් මාත්‍රාව ලබාදීමේ වැඩසටහන සඳහා නව කොවිඩ් ප්‍රභේද සඳහා විශේෂයෙන් වැඩිදියුණු කරන ලද එන්නත් මෙන්ම දැනට භාවිතයේ පවතින ෆයිසර්, ඇස්ට්‍රාසෙනෙකා සහ මොඩර්නා එන්නත් යොදා ගන්නා බව එංගලන්තයේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර ඇත.

(රොයිටර්)