බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලයි


එක් මහද්වීපයක සිට තවත් මහද්වීපයකට පහසුවෙන් විදිය හැකි, අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිලයක් සාර්ථකව අත්හදා බැලූ බව උතුරු කොරියාව පවසා තිබේ.

එම මිසයිලය අත්හදා බැලීම සිදුවන ආකාරය අධීක්ෂණය කිරීමට උතුරු කොරියා නායක කිම් ජොන් උන් ද පැමිණ සිටි බව එරට හමුදාව පවසා ඇත. මෙය නව මාදිලියේ මහද්වීපික බැලැස්ටික් මිසයිලයක් බවත්, එය ‘හවුසොංග් 17’ යනුවෙන් නම් කරන බවත් උතුරු කොරියානු රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

2017 වසරෙන් පසු, උතුරු කොරියාව, අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිලයක් අත්හදා බැලූ පළමු අවස්ථාව මෙය බව ඇමෙරිකාව කියයි. 2017 වසර වනවිට ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හෙබවූයේ ඩොනල්ඩ් ට්‍රම්ප්ය.

ට්‍රම්ප්ගේ නම්‍යශීලී ප්‍රතිපත්ති හේතුවෙන්, ඔහු සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් මුහුණට මුහුණ හමුවිය. එහිදී අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිලය අත්හදා බැලීම් නොකිරීමට නායක කිම් ජොන් උන් එකඟ කර ගැනීමට ට්‍රම්ප් සමත් විය.

කෙසේ නමුත් ඇමෙරිකාව අපේකෂා කළ අන්දමින්, න්‍යෂ්ටික අවි හරණයක් උතුරු කොරියාව සිදු කළේ නැත. ඒ අනුව, ට්‍රම්ප් සහ කිම් ජොන් අතරේ ඇති කරගත් එකඟතා කට වචනයට පමණක් සීමා විය. ‘හවුසොංග් 17’ දිගු දුර මිසයිලය අත්හදාබැලීම සම්බන්ධයෙන්, තමන් දැඩි ලෙස කනස්සල්ලෙන් පසුවන බව ඇමෙරිකාව පවසා තිබේ.

(රොයිටර්)