බීරූට් වරායේ පිපිරීමෙන් ලක්ෂ 3 කට නිවාස අහිමි වෙයි


බීරූට් හි සිදුවූ දැවැන්ත පිපිරීමෙන් 300,000 ක පමණ පිරිසකට නිවාස අහිමි වී ඇති අතර නගරයෙන් අඩකට පමණ හානි සිදුවී තිබේ. මෙම පිපිරීමෙන් සිදුවූ හානිය ඩොලර් බිලියන 3 කට වඩා වැඩි යැයි ගණන් බලා ඇතැයි බීරූට්හි ආණ්ඩුකාරවරයා කියයි.

"මම හිතන්නේ දැන් නිවාස නොමැති පුද්ගලයින් 250,000 ත් 300,000 ත් අතර සංඛ්‍යාවක් සිටිනවා. අඟහරුවාදා පිපිරීමෙන් සිදුවූ හානිය සඳහා ඇස්තමේන්තුගත හානිය ඩොලර් බිලියන 3.0 ත් 5.0 ත් අතර විය හැකියි“ යැයි ආණ්ඩුකාර මාර්වන් අබූඩ් මහතා පැවසීය.

ඉංජිනේරුවන් සහ තාක්ෂණික කණ්ඩායම් තවමත් නිල තක්සේරුවක් කර නොමැති නමුත් වරාය ප්‍රදේශයේ ඇති වූ පිපිරීම නිසා නගරයෙන් අඩකටත් වඩා හානිවී ඇති බවක් පෙනේ.