බෙංගාල මැතිවරණයෙන් ත්‍රිණමූල් කොංග්‍රසයට ජය


ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ ගම්සභා, නගරසභා සහ දිස්ත්‍රික් සංවර්ධන මණ්ඩල සඳහා නියෝජිතයන් තෝරා ගැනීමට පැවැත්වුණු ‘පංචයාත්’ මැතිවරණයෙන්,  පාලක ත්‍රිණමූල් කොංග්‍රස් පක්ෂයට බලය තහවුරු කර ගැනීමට හැකිවිය.

මැතිවරණය පැවැත්වූයේ පසුගිය ජූලි 8 වැනිදාය. එහි ප්‍රතිඵල ඊයේ (11) නිකුත් කෙරුණි. බටහිර බෙංගාල ප්‍රාන්ත මහ ඇමැතිනී මම්තා බෙනර්ජීගේ ත්‍රිණමූල කොංග්‍රසය වැඩි ආසන ගණනක් දිනා ගැනීමට සමත් වූ අතර, දෙවැනි ස්ථානයට පත් වූයේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයයි.

ජයග්‍රහණයත් සමඟ බටහිර බෙංගාල වැසියන්ට සුබ පැතීමට මහ ඇමැතිනී මම්තා බෙනර්ජි කටයුතු කළාය. ඒ, සමාජ මාධ්‍ය ඔස්සේය. ඉන්දීය දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දුන්නේ, මෙය මහ ඇමැතිනී මම්තා බෙනර්ජිගේ ජනප්‍රියත්වය උරගා බැලීමේ අතුරු මැතිවරණයක් බවය.

‘පංචයාත්’ මැතිවරණය පැවැත්වූයේ ප්‍රචණ්ඩ ක්‍රියා මධ්‍යයේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මැතිවරණය පැවැත්වෙන අතරතුරේ සිදුවුණු ප්‍රචණ්ඩ ක්‍රියාවලින් 11 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවය. ලක්ෂ දෙකකට වැඩි අපේක්ෂකයෝ පිරිසක් මැතිවරණයට ඉදිරිපත් වූහ. බටහිර බෙංගාලයේ ජනගහනය මිලියන 104 කි. ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවුණු බව පැවැසෙන්නේ කොමියුනිස්ට්වාදී ත්‍රිණමූල් කොංග්‍රසය සහ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂ සාමාජිකයන් අතරේය.