බෙලරූස් විපක්ෂ නායිකා ස්විත්ලානා සිකෙනෝස්කායාට බෙලරූස් අධිකරණයක් වසර 15 ක සිර දඬුවමක් නියම කළේය. සිකෙනෝස්කායා වරදකාරිය වූයේ බෙලරූස් රජය පෙරලා දැමීමට කුමන්ත්‍රණය කිරීම සහ දේශද්‍රෝහී චෝදනා සම්බන්ධයෙනි.
40 හැවිරිදි, ස්විත්ලානා දේශපාලනයට පිවිසීමට පෙර, ඉංග්‍රීසි ගුරුවරියක ලෙස රැකියාව කළ තැනැත්තියකි. 2020 වසරේ බෙලරූස් ජනාධිපතිවරණයට ඇය ඉදිරිපත් වූයේ, බලය අත් හැරීමේ කිසිදු අදහසක් නොමැති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝට අභියෝග කරමිනි. 68 හැවිරිදි ලුකෂෙන්කෝ, බෙලරූස් ජනාධිපති ධුරය හොබවන්නේ 1994 වසරේ සිටය.
2020 ජනාධිපතිවරණයෙන් ද ලුකෂෙන්කෝ අති බහුතරයක් දිනා ගත්තේ යැයි මැතිවරණ කොමිසම පැවැසීය. ඉන්පසු විපක්ෂ දේශපාලන කණ්ඩායම් දරුණු ලෙස මර්දනයට ලක් විය. ස්විත්ලානා අසල්වැසි ලිතුවේනියාවට පලා ගියාය. බෙලරූස් අධිකරණය හමුවේ ස්විත්ලානා වරදකාරිය වෙද්දී, ඇය සිටියේ ද ලිතුවේනියාවේය.
(රොයිටර්)