භික්ෂූන් වහන්සේලා බුද්ධ ගයාවේ විරෝධතා


බුද්ධගයාවේ පාලනය, සම්පූර්ණයෙන්ම බෞද්ධ මණ්ඩලයකට භාරදෙන මෙන් ඉල්ලා, මහාබෝධි විහාරය අසල ආරම්භ කර ඇති උපවාසය දිගටම පැවැත්වෙන බවත්, ඉන්දියාවේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා බොහෝ දෙනකු මේ වනවිට එම උපවාසයට එක් වී සිටින බවත් වාර්තා වේ.

ඉන්දියාවේ සික්කිම් ප්‍රාන්තයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක් මහාබෝධි විහාරයට වැඩම කළ අතර, උන්වහන්සේලා ද එම උපවාසයට එක් වුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩි දුරටත් පැවැසීය.

1949 වසරේ මහා බෝධි විහාර කළමනාකරණ පනත වෙනස් කරන්නැයි ඉල්ලමින්, බෞද්ධ භික්ෂූන් වහන්සේලා මෙසේ මහා බෝධි විහාරය අසල උපවාසය ආරම්භ කළේ පසුගිය පෙබරවාරි 12 වැනිදාය.

සිදුහත් බෝ සතුන් බුද්ධත්වයට පත් වුණු බුද්ධගයාව පිහිටා ඇත්තේ, ඊසානදිග ඉන්දියාවේ, බිහාර් ප්‍රාන්තයේ, ගයා දිස්ත්‍රික්කයේය.

වර්තමානයේ බුද්ධගයාව පාලනය කරන පාලක මණ්ඩලයට හින්දු භක්තිකයෝ පස් දෙනෙක් සහ බෞද්ධයන් සිවු දෙනකු අයත් වන අතර, උපවාසයට එක් වී සිටින භික්ෂූන් වහන්සේලාගේ ඉල්ලීම වී ඇත්තේ, බුද්ධගයාව පාලනය කරන එම පාලක මණ්ඩලය සම්පූර්ණයෙන් බෞද්ධයන්ගෙන් සමන්විත යුතු බවය. ඒ සඳහා 1949 වසරේ, මහා බෝධි විහාර කළමනාකරණ පනත වෙනස් කිරීම කළ යුතුය. 

භික්ෂූන් වහන්සේලා ආරම්භ කළ උපවාසයට සහාය පළ කරමින්, පසුගිය 14 වැනිදා පූනේ නගරයේ දී දැවැන්ත මහජන පෙළපාළියක් ද පැවැත්විණි.