මලාලා යූසොෆ්සායි යළිත් පාකිස්තානයට


නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබූ, මානව ක්‍රියාකාරිනියක වන මලාලා යූසොෆ්සායි යළි සිය මවු රට වන පාකිස්තානය බලා පැමිණියාය. මලාලා මෙසේ යළි පාකිස්තානය බලා පැමිණියේ, තලේබාන් ත්‍රස්තවාදීන් ඇයට වෙඩි තබා ඇය ඝාතනය කිරීමට උත්සාහ ගෙන වසර 10 ක් ගතවෙද්දීය.

පාකිස්තානයේ බාලිකා අධ්‍යාපනයට ඇති අයිතිය වෙනුවෙන් හඬ නැගීමේ වරදට, තලේබාන් ත්‍රස්තවාදියකු මලාලාගේ මිසට වෙඩි තැබුවේ 2012 වසරේ ඔක්තෝබර් 9 වැනිදාය. ඒ වනවිට ඇය 15 හැවිරිදි පාසල් දැරියක වූවාය.

වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ මලාලා වැඩිදුර ප්‍රතිකාර සඳහා බ්‍රිතාන්‍යයට ගෙන්වා ගැනීමට එවකට අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් කටයුතු කළේය. පසුව මලාලා පමණක් නොව ඇගේ මව සහ පියා මෙන්ම සොහොයුරාට ද බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමිවිය. මලාලා යූසොෆ්සායි විවාහකය. ඇය විවාහ වී සිටින්නේ පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාරවරයකු වන අසේර් මලික් සමඟය.

මලාලා පැමිණියේ පාකිස්තානයේ කරච්චි නුවරටය. එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරියක ද වන මලාලාගේ අරමුණ පසුගිය කාලයේ පාකිස්තානය මුහුණ දුන් මෝසම් වැසි සහ ජල ගැලීම්වලින් විපතකට පත්වූවන් ගැන සොයා බැලීමය. තලේබාන් ත්‍රස්තවාදීන්ගේ වෙඩි ප්‍රහාරය එල්ල වීමෙන් පසු මලාලා යූසොෆ්සායි සිය මවු රට වන පාකිස්තානයට පැමිණි දෙවැනි අවස්ථාව මෙය යැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

(එන්.ඩී.ටීවී.)