මැඩගස්කර් ජනාධිපති ඝාතන තැත වරදී


මැඩගස්කරයේ ජනාධිපති ඇන්ඩ්‍රි රජෝලිනා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගත් බවත්, ඔවුන් අතර විදේශිකයන් කිහිප දෙනකු ද සිටින බවත් මැඩගස්කර් නීතිපති බර්තීන් රසාෆිරිවොනි මාධ්‍ය හමුවේ පවසා තිබේ.

පිරිස අත්අඩංගුවට ගනිමින්, ජනාධිපති ඝාතන සැලැස්ම ව්‍යර්ථ කිරීමට හැකිවූයේ ජාතික ආක්ෂාව සම්බන්ධයෙන්, පොලිසිය සිදු කළ පුළුල් විමර්ශනයකින් පසුව යැයි ද නීතිපතිවරයා පැහැදිලි කර තිබේ.

ඝාතන සැලැස්ම ව්‍යර්ථ කරමින්, ජනාධිපතිවරයා ඝාතනය කිරීමට සැලැසුම් කළ සියලු දෙනා අල්ලා ගැනීමට ද පොලිසිය සමත් වූ බව නීතිපතිවරයා පැහැදිලි කළේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමිනි.

සැකකරුවන් ජනාධිපතිවරයා පමණක් නොව, මැඩගස්කරයේ ඉහළ පෙළේ දේශපාලනඥයන් කීප දෙනකු ද ඝාතනය කිරීමට සැලැසුම් කර ඇතැයි ද පොලිසිය කළ විමර්ශනවලදී අනාවරණය වූ බව නීතිපති බර්තීන් රසාෆිරිවොනි වැඩි දුරටත් පවසා තිබේ.

අත්අඩංගුවට ගත් විදේශ සැකකරුවන් කුමන රටවල පුද්ගලයන් ද යන්න මෙතෙක් අනාවරණය වී නැත. ඊට අමතරව, ජනාධිපති ඇන්ඩ්‍රි රජෝලිනා සහ දේශපාලනඥයන් ඝාතනය කිරීමට සැලැසුම් කර තිබුණේ කෙසේද යන්න සම්බන්ධයෙන් ද විස්තර මාධ්‍ය වෙත නිකුත් කර නැත.

(රොයිටර්)