මැලේසියාව දෙසට පිහිනමින් සිටි රෝහිනග්‍යා සරණාගතයින් 24 ක් අතුරුදන්


මැලේසියාවේ ලැන්කාවි දූපත දෙසට පිහිනමින් සිටි රෝගින්ග්‍යා සරණාගතයින් 24 දෙනකු අතුරුදන්ව ඇතැයි එරට බලධාරීහු පවසති.

රෝහිනග්‍යා සරණාගතයින් 25 දෙනකු බෝට්ටුවකින් පැමිණ ඇති නමුත් වෙරළට පැමිණියේ එක් සරණාගතයෙකු පමණක් බව මැලේසියානු වෙරළාරක්ෂක භටයින් පවසා තිබේ. 

ඉතිරි 24 දෙනා වෙරළට පිහිනීමට උත්සාහ කිරීමේ දී අතුරුදන්ව ඇතැයි ද ඔවුන් මුහුදේ ගිලී මියයන්නට ඇතැයි විශ්වාස කරන බවද ඔවුහු වැඩිදුරටත් පවසති.

බෝට්ටු දෙකක් සහ එක් ගුවන් යානයක් සෝදිසි මෙහෙයුම් සඳහා යොදවා ඇති අතර සෝදිසි මෙහෙයුම් සඳහා සහාය වන ලෙස තායිලන්ත බලධාරීන්ට ද දැනුම් දී ඇත.

ප්‍රශ්න කිරීම සඳහා වෙරළට පැමිණි පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති නමුත් බෝට්ටුවට සිදුවූයේ කුමක්ද යන්න අනාවරණය වී නොමැත.

පසුගිය මාසයේදී ලැන්කාවි දූපත වෙත පැමිණි රෝහිනග්‍යා වැසියන් 269 දෙනකු රඳවා ගෙන ඇත.

මැලේසියාව සරණාගතයින් පිළිනොගන්නා අතර කොරෝනා වයිරසයෙන් ආර්ථිකය අඩපන වී ඇති හෙයින් තවදුරටත් රෝහිනග්‍යා වැසියන්ට සරණාගත භාවය ලබාදීමට නොහැකි බව අගමැති මුහයිඩීන් යසීන් පවසා තිබේ.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)