මියන්මාරයේ දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ රියදුරකු වෙඩි වැදී මරුට


කොවිඩ් - 19 පරීක්ෂණ නියැදි ලබා ගැනීමේ කටයුත්තකට මියන්මාරයේ ගැටුම් සහිත කළාපයට ගොස් සිටි ලෝක සෞඛ්‍ය සංවිධානයේ රියදුරකු වෙඩි ප්‍රහාරයකින් මියගොස් ඇතැයි වාර්තා වේ.

මෙම සිද්ධියේදී මියන්මාර රජයේ සේවකයෙකු ද තුවාල ලබා තිබේ.

එක්සත් ජාතින්ගේ සළකුණ සඳහන් වාහනයක් පදවාගෙන යමින් සිටියදී රඛයින් ප්‍රාන්තයේදී වෙඩි ප්‍රහාරය එල්ල වී ඇතැයි පැවසේ.

මියන්මාරයේ හමුදාව සහ අරකන් හමුදාව පවසා සිටින්නේ ඔවුන් මෙම සිද්ධියට සම්බන්ධ නැති බවයි.

මියන්මාරයේ මේජර් ජෙනරාල් ටුන්ටුන් නයි පවසා ඇත්තේ එක්සත් ජාතීන්ගේ වාහනයකට පහර දීමට තම හමුදාවන්ට කිසිදු හේතුවක් නැති පවයි.

"ඔවුන් අපේ රට වෙනුවෙන් වැඩ කරනවා. ඔවුන් සම්බන්දව අපට වගකීමක් තිබෙනවා." යැයි ඔහු පවසා ඇත.

මේ සම්බන්දව අදහස් දක්වමින් මියන්මාරයේ එක්සත් ජාතින්ගේ කාර්යාලය කියා සිටියේ මින්බියා නගරයේ හමුදා මුරපොළක් අසලදී සිදුවූ රියදුරුගේ මරණය සම්බන්දව දැඩි ලෙස කණගාටු වන බවයි.

වෙඩි තැබීම සිදුකළේ කවුරුන්ද යන්න සම්බන්දව එක්සත් ජාතීන්ගේ සංවිධානය කිසිවක් ප්‍රකාශ කර නොමැත.

වයිරස වසංගතය පැතිරෙන අවස්ථාවේ ගැටුම් නතර කරන ලෙස ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය ඇතුළු ලෝකයේ රටවල් ප්‍රකාශ නිකුත් කර තිබිණි.

මියන්මාරයේ මේ වනවිට කොරෝනා රෝගීන් 80කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර 04දෙනකු මියගොස් තිබේ.


(බීබීසී ඇසුරිණි - 085)