ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිදු කළ නව කැබිනට් සංශෝධනයට අනුව, එරට ප්‍රධාන අමත්‍යාංශ ලෙස සැලෙකන සෞඛ්‍ය, අධිකරණ, ජන සන්නිවේදන සහ දුම්රිය සඳහා නව අමාත්‍යවරුන් පත් කෙරුණි. ඒ අනුව, මෝදිගේ ඇමැති මණ්ඩලය 78 තෙක් ඉහළ ගිය බව ද වාර්තා වේ.
සිදු කළ සංශෝධනට අනුව, කැබිනට් මන්ත්‍රීවරුන් ගණන 21 සිට 30 දක්වාත්, කණිෂ්ඨ මන්ත්‍රීවරුන් ගණන 23 සිට 45 දක්වාත් ඉහළ ගියේ යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබේ. නව අමාත්‍යවරුන් දිවුරුම් දීම ඊයේ (7) සවස සිදුවූයේ ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් ඉදිරියේය.
දිවුරුම් දුන් නව අමාත්‍යවරුන්ට තමන් සුබ පතන බවත්, ශක්තිමත් සමෘද්ධිමත් ඉන්දියාවක් ගොඩනැගීමට ඔවුන්ගේ සහාය තමන්ට ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවත් අග්‍රාමාත්‍ය මෝදි, දිවුරුම් දුන් නව අමාත්‍යවරුන්ට සුබ පැතීමට ද අමතක නොකළේය.
කැබිනට් සංශෝධනයට පෙර, ඇමැතිවරුන් කිහිප දෙනකු ඔවුන්ගේ ධුරවලින් ඉල්ලා අස්වූ බව ද වාර්තා විය. ඔවුන් ඉල්ලා අස්වූයේ තරුණ මන්ත්‍රීවරුන්ට අවස්ථාවක් ලබා දීමට යැයි පවසමිනි.
ඉන්දියාව මේ වනවිට 'කොවිඩ් 19' දෙවැනි රැල්ලෙන් දරුණු ලෙස බැටකයි. එන්නත්කරණ වැඩසටහන නිසි පරිදි ක්‍රියාත්මක නොවන බැවින් ආසාදිතයන් අඩුවන බවක් නොපෙනෙයි. ඉන්දීය සෞඛ්‍ය අංශ අනතුරු අඟවා ඇත්තේ, ඉන්දියාව තෙවැනි කොරෝනා රැල්ලට ද අතවනමින් සිටින බවය.
'කොවිඩ් 19' වයිරස ව්‍යාප්තිය පාලනය කර ගැනීමේත්, කඩා වැටෙමින් පවතින සෞඛ්‍ය ක්ෂේත්‍රය යළි ශක්තිමත් කිරීමේත් වගකීම පවරා දෙමින්, නව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස එම ධුරයට පත් කර ඇත්තේ මාන්සුක් මාන්දවියාය. මාන්සුක්ගේ කණිෂ්ඨ අමාත්‍යවරයා ලෙස පත් කෙරුණේ ආචාර්ය භාරතී පවාර්ය. සෞඛ්‍ය අමාත්‍ය ධුරයට අමතරව, මාන්සුක් මාන්දවියා, රසායනකික පොහොර පිළිබඳ අමාත්‍ය ධුරය ද හොබවනු ඇත.
ඔඩිෂා ප්‍රාන්තය නියෝජනය කරමින් රාජ්‍ය සභාවට එක්වුණු අෂ්වානී වෂ්නාව් දුම්රිය සහ තොරතුරු තාක්ෂණ කටයුතු අමාත්‍යවරයා ලෙස පත් කෙරුණි. අෂ්වානී වෂ්නාව් ඇමෙරිකන් උපාධිධාරියෙකි.
අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස කිරන් රයිජ්ජු පත් කෙරුණි. ඔහු මීට පෙර යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.
කොරෝනා වසංගතයත් සමඟ කඩා වැටුණු ඉන්දීය සිවිල් ගුවන් සේවා අමත්‍යාංශය යළි පණ ගැන්වීමේ අරමුණින්, ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස ජයෝත්‍රිආධිත්‍යා සින්ධියා පත් කෙරුණි.
මෙම අමාත්‍ය ධුරය මීට පෙර ආධිත්‍යාගේ පියා මාධවාරෝ විසින් ද හොබවා ඇත. මාධවාරෝ, 2001 වසරේ සිදුවුණු ගුවන් යානා අනතුරකින් ජීවිතක්ෂයට පත් විය.
එක්සත් ජනතා දාල් පක්ෂය නියෝජනය කරන, රාමචන්ද්‍ර ප්‍රසාද් සිංට ද අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ රජයට එක්වීමට අවස්ථාවක් ලැබී ඇත. ඒ, වානේ කර්මාන්ත කටයුතු අමාත්‍යවරයා ලෙසය.
නවදිල්ලියේදීය (රොයිටර්)