ලබන 2024 වසරේ පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ ඔහුගේ භාරතීය ජනතා පක්ෂ සන්ධානයට, අභියෝග කිරීම සඳහා කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ විපක්ෂ සන්ධානය මේ වනවිට සූදානම් වෙමින් සිටී.
කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛව විපක්ෂ දේශපාලන පක්ෂ 26ක නායකයන් අද (18) දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ බෙංගලූරු අගනුවරට රැස්වුණු බව මාධ්‍ය වාර්තා කරයි.
කොංග්‍රස් පක්ෂ සභාපති මල්ලිකාර්ජන් කාර්ගේ, නායක රාහුල් ගාන්ධි සහ සෝනියා ගාන්ධි මෙන්ම තමිල්නාඩු මහඇමති එම්.කේ ස්ටාලින්, බිහාර් මහ ඇමති නිතිෂ් කුමාර්, දිල්ලි මහ ඇමති අර්වින්ද් කෙජ්රිවාල්, ජාර්කන්ද් මහ ඇමති හෙමන්ට් සෝරන්, බටහිර බෙංගාලයේ ප්‍රධාන අමාත්‍යවරිය වන මම්තා බෙනර්ජි සහ රාෂ්ට්‍රිය ජනතා දාල් පක්ෂ නායක ලාලූ ප්‍රසාද්, විපක්ෂ සන්ධානයේ සමුළුවට එක්ව සිටින ප්‍රධාන නායකයෝ අතර වූහ.
සමුළුව ආරම්භ කරමින් කොංග්‍රස් පක්ෂ සභාපති මල්ලිකාර්ජන් කාර්ගේ පැවැසුවේ තම පක්ෂයේ අරමුණ මිළඟ මැතිවරණයෙන් බලය ලබාගැනීමට හෝ අගමැති ධුරය හිමිකර ගැනීම නොවන බවය.
මෝදිගේ රජයට තනිව බහුතර බලයක් ලබාගත නොහැකි බවත්, විපක්ෂයේ එකමුතුභාවය තුළින් ඔවුන් පැරදවිය හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.