යානයට බලෙන් ගොඩවුණු ඇෆ්ගන් වැසියෝ


තලේබාන්වරුන් ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර අත්පත් කරගත් අවස්ථාවේ, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලට සහාය දක්වන, තලේබාන් පාලනය ප්‍රතික්ෂේප කරන ඇෆ්ගන් සිවිල් වැසියෝ දස දහස් ගණනක් අසරණ වූහ.

ඔවුන් කාබුල් ගුවන්තොටුපොළට එක් රොක් වූයේ ගුවන් යානයකට ගොඩවී රටින් පලා යෑමට වුවත්, බොහෝ දෙනකුට සිවිල් ගුවන් යානාවලට ගොඩවීමට ඉඩක් ලැබුණේ නැත. ගුවන් යානාවල රෝදවලත් අත්තටුවලත් එල්ලී යෑමට උත්සාහ ගත් ඇෆ්ගන් වැසියෝ රැසක් ජීවිතක්ෂයට පත්වූහ.

පසුගිය 15 වැනිදා තලේබාන්වරුන් කාබුල් අගනුවරට පිවිසෙද්දී, කාබුල් ගුවන්තොටුපොළෙන් පිටත්වීමට සූදානම් වූ ඇමෙරිකන් ගුවන් හමුදාවට අයත් සී17 ගුවන් යානයකට බලහත්කාරයෙන් ගොඩවුණු කාන්තාවන් වැඩිහිටියන් සහ කුඩා දරුවන් ඇතුළු ඇෆ්ගන් වැසියන් 640 දෙනකු කටාර් බලා රැගෙන යෑමට එහි නියමුවන් කටයුතු කළේ මේ ලෙසිනි.  

මෙම ඡායාරූපය ප්‍රසිද්ධියට පත් කර තිබුණේ ඇමෙරිකන් හමුදා පුවත් වෙබ් අඩවියක් වන Defense One ය.

මේ අතර අල් ජසීරා පුවත් සේවය අනාවරණය කර ඇත්තේ කාබුල් අගනුවර තලේබාන්වරුන් අල්ලා ගනිද්දී, ජර්මනිය හමුදා ගුවන් යානයක් කාබුල් වෙත යැවූ බවත්, ඒ 400 එම් වර්ගයේ යානයෙන් ගෙන්වා ගෙන ඇත්තේ ජර්මන් ඇෆ්ගන් ද්විත්ව පුරවැසිභාවය ලැබූ මානව ක්‍රියාකාරීන්, නීතීඥවරුන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයන් 7 දෙනකු පමණක් බවය.

(රොයිටර්)