යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය ඇමැතුවේය. යුක්රේන ජනාධිපතිවරයා නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මුලස්ථානයේ පැවැත්වෙන මහා මණ්ඩල සැසිය ඇමැතුවේ වීඩියෝ පණිවුඩයකිනි.
යුක්රේනය ආක්‍රමණය කිරීම, රුසියාව කළ දරුණු අපරාධයක් බව පෙන්වා දෙමින්, ඒ සම්බන්ධයෙන් රුසියාවට දඬුවම් කළ යුතු බවත් රුසියාවට දඬුවම් ලැබිය යුතු බවත් ජනාධිපති සෙලෙන්ස්කී අවධාරණය කළේය. රුසියාව, යුක්රේනයේ සිදුකරන අපරාධ පිළිබඳව ද ලෝක නායකයන් දැනුවත් කිරීමට යුක්රේන ජනාධිපතිවරයා සමත් විය.
රුසියාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයෙකි. ඒ අනුව, රුසියාවට නිෂේධ බලය හිමිය. එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ සෙසු රටවල් රුසියාවට එරෙහිව කුමන තීරණය ගත්තත්, ඊට විරුද්ධ වීමට ඒ අනුව රුසියාවට හැකියාව ලැබේ. යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී ජගත් මහ සමුළුව අමතමින් ලෝක නායකයන්ගෙන් ඉල්ලා සිටියේ රුසියාවට හිමි මෙම නිෂේධ බලය ඉවත් කරන ලෙසය.
යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී, වීඩියෝ පණිවුඩයක් මගින් ජගත් මහ සමුළුව ආමන්ත්‍රණය කළේ ඒ සඳහා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ඡන්ද විමසුමකින් ද පසුවය. ඊට විරෝධය දැක්වූයේ රුසියාව සහ රුසියාවට හිතවත් රටවල් කීපයක් පමණි. ඉන්දියාව පවා සෙලෙන්ස්කීට අවසර දෙන්නැයි ඡන්දය ප්‍රකාශ කර තිබුණි. සෙලෙන්ස්කීට සමුළුව ඇමැතීමට අවසර ලැබුණේ ඒ අනුවය.
(රොයිටර්)