යුක්රේනයත් යුරෝපා සංගමයට එක්වන ලකුණු


යුක්රේනයේ ඉල්ලීම සැලකිල්ලට ගනිමින්, යුක්රේනය යුරෝපා සංගමයේ සාමාජිකයකු කර ගැනීමට යුරෝපා සංගමයේ සාමාජික රටටවල් කැමැත්ත පළ කර තිබේ. ඒ අනුව, ඊට අදාල සාකච්ඡා ඉදිරියේ දී ආරම්භ වනු ඇත.

මේ සම්බන්ධයෙන් සතුට පළ කරන යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්න්ස්කී පවසා ඇත්තේ, යුක්රේනය යුරෝපා සංගමයේ සාමාජිකයකු කර ගැනීමට යුරෝපා සංගමය ගත් තීරණය, රුසියානු හමුදා ප්‍රහාරවලින් බැටකන යුක්රේනය ලැබූ ජයග්‍රහණයක් බවය.

යුක්රේනය, සාමාජිකයකු කර ගැනීම සම්බන්ධයෙන්, හංගේරියාව හැර සෙසු යුරෝපා සංගමයේ සාමාජික රටවල් සියල්ල කැමැත්ත පළ කර ඇත. යුරෝපා සංගමයට යුක්රේනය එක් කර ගැනීම සුදුසු නොවන බව හංගේරියාව දිගින් දිගටම පවසා තිබේ.

යුක්රේනය යුරෝපා සංගමයේ සාමාජිකයකු කර ගැනීමට ඡන්ද විමසුමක් යුරෝපා සංගමයේ සාමාජික රටවල් 26 අතරේ පැවැත්වෙද්දී, හංගේරියානු අග්‍රාමාත්‍ය වික්ටෝර් ඔර්බාන් එතැනින් ඉවත් විය. ඔහු ඡන්දය දීමෙන් වැළැකී සිටි නමුත්, නිෂේධ බලය භාවිතයට ගනිමින්, යුක්රේනයට විරෝධය පළ කළේ නැත.

2022 වසරේ දී රුසියාව, යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කළේ, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීගේ බටහිර හිතවාදී රජය ‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ සාමාජිකත්වය අපේක්ෂා කරන බැවිනි.

යුක්රේනයට ‘නේටෝ’ සාමාජිකත්වය ලබා දීමට ‘නේටෝ’ සාමාජික රටවල් අදිමදි කරයි. ඒ, එසේ සාමාජිකත්වය ලබා දීමෙන් රුසියන් යුක්රේන අර්බුදය බටහිර රටවලට ව්‍යාප්ත වේවි යැයි බියක් පවතින බැවිනි. යුක්රේනය, යුරෝපා සංගමයේ සාමාජිකයකු වීමට අයැදුම් කළේ ‘නේටෝ’ සාමාජිකත්වය නොලැබෙන බව අවබෝධ වීමෙන් පසුවය.