රුසියානු හමුදා එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් යුක්රේනයේ ඔඩෙසා නගරයේ ගුවන් තොටුපොළක සැපයුම් පර්යන්තයක් විනාශ කළ බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශ කළේය.
යුරෝපා සංගමයෙන් සහ ඇමරිකාවෙන් ලබා දුන් යුද උපකරණ සහ ආයුධ විශාල ප්‍රමාණයක් මෙම සැපයුම් පර්යන්තයේ ගබඩා කර තිබූ බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශයේ ප්‍රකාශක ජෙනරාල් ඉගොර් කොනශෙන්කොව් පැවසීය.
මෙම ප්‍රහාරය හේතුවෙන් ආයුධ ගබඩාව සම්පුර්ණයෙන්ම විනාශ වූ බව රුසියානු මාධ්‍ය වාර්තා කළේය.නේටෝ සංවිධානය සහ ඇමෙරිකාව ලබා දෙන යුද ආධාර, යුද ඉලක්ක ලෙස සලකන බවට රුසියාව වරින්වර ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් ඔඩෙසා නගර බලධාරීන් පැවසුවේ රුසියානු හමුදා එල්ල කළ මිසයිල දෙකක් යුක්රේන ගුවන් ආරක්ෂණ කණ්ඩායම් විනාශ කර දැමීමට සමත් වූවත් තවත් මිසයිල හතරක් සැපයුම් පර්යන්තයට සහ තට්ටු නිවාස ගොඩනැගිලි වලට සාර්ථකව එල්ල වූ බවයි.
තට්ටු නිවාස ගොඩනැගිලි වලට එල්ල වූ මිසයිල රුසියානු හමුදා එල්ල කළ ඒවාද එසේත් නැතිනම් රුසියානු මිසයිල විනාශ කිරීමට යුක්රේන හමුදා එල්ල කළ ඒවාද යන්න පැහැදිලි තොරතුරුක් තවමත් ලැබී නැතැයි විශ්ලේෂකයෝ පවසති.
මෙම ප්‍රහාරය හේතුවෙන් වයස මාස තුනක බිළිඳකු ඇතුළුව පුද්ගලයින් 8 ක් මියගොස් 18-20 ත් අතර පිරිසක් තුවාල ලබා ඇති බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි මාධ්‍ය හමුවකදී පැවසීය.
”හිතන්න පුළුවන්ද රුසියානු හමුදා අපේ රට අක්‍රමණය කරන්න පටන් ගනිද්දි මේ මියගිය බිළිඳාට මාසයයි” ජනාධිපති සෙලෙන්ස්කි මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කළේය.”මරියුපෝල් හි සිරවී සිටින යුක්රේන සොල්දාදුවන්ට අනතුරක් සිදු වුවහොත් හෝ ලුහන්ස්ක් සහ ඩොනෙට්ස්ක් සමූහ ආණ්ඩු රුසියාවට එක්වීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වුවහොත් අපි සාම සාකච්ඡා වලින් ඉවත් වෙනවා”යැයි එහිදී ජනාධිපති සෙලෙන්ස්කි මාධ්‍යවේදීන් දැනුවත් කළේය.
(විමුක්ති රුද්‍රිගු)