යොෂිහිදේ සුගා ජපාන අගමැති ධුරයට සමුදෙයි


ජපානයේ පාලක ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂ නායකත්වයෙන් මෙන්ම ජපාන අග්‍රාමාත්‍ය ධුරයෙන් ද සමුගන්නා බව යොෂිහිදේ සුගා මාධ්‍ය හමුවේ පවසා ඇත.

මෙම මස අවසානයේ පක්ෂ නායකත්වය වෙනුවෙන් පක්ෂ අභ්‍යන්තරයේ ඡන්ද විමසුමක් පැවැත් වීමට නියමිත අතර, තමන් පක්ෂ නායකත්වය සඳහා ඉදිරිපත් නොවන බව ද සුගා පැහැදිලි කළේය.

ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ පාලක පක්ෂයේ නායකයාට වන අතර, වසර ගණනාවක් පුරාවට ජපානයේ පාලක පක්ෂය ලෙස බලයේ රැඳී සිටින්නේ ලිබරල් ඩිමොක්‍රටික් පකෂයයි.

72 හැවිරිදි යොෂිහිදේ සුගා පක්ෂ නායකයා ලෙසත්, අග්‍රාමාත්‍යවරයා ලෙසත් කටයුතු කළේ වසරක කාලයක් පමණි. සුගා පක්ෂ නායකත්වය සඳහා තෝරා ගැනීම සිදුවූයේ පසුගිය සැප්තැම්බරයේ පක්ෂ නායකයා සහ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටි ෂෙන්සෝ අබේ එම ධුරවලින් ඉවත් වූ අවස්ථාවේදීය. අබේ ධුරවලින් ඉවත් වී දේශපාලනයෙන් සමුගත්තේ ඔහුගේ අයහත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙනි. අබේගේ ධුර කාලය අවසන් වීමට තිබුණේ මෙම 2021 වසරේදීය.

එම අවස්ථාවේ දී පක්ෂයේ බහුතර කැමැත්තට අනුව, යොෂිහිදේ සුගා තෝරා ගැණින. කෙසේ නමුත් 'කොවිඩ් 19' වසංගතය හමුවේ ජපානය ආර්ථිකමය වශයෙන් පසුබෑමකට ලක් වෙද්දී, පළාත් මට්ටමින් පැවැති මැතිවරණයෙන් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය දැඩි පසුබෑමකට ලක් විය. ඒ සමඟ සුගාගේ ජනප්‍රියත්වය ද පහළ ගියේය.

ඒ අනුව, පක්ෂ නායකත්වය සඳහා ඡන්ද විමසුමක් පැවැත්වීමට තීරණය කෙරුණු අතර, මෙම සැප්තැම්බර් මස අවසානයේ එම ඡන්ද විමසුම පැවැත්වෙයි. ඊට අමතරව ජපාන මහ මැතිවරණය ද මෙම 2021 වසර අවසානයේ පැවැත්වීමට නියමිතය.

'කොවිඩ් 19 වසංගතයත් සමඟ රට පාලනය කිරීම පහසු නැහැ. ඒක ලොකු පීඩනයක්. ලොකු කායික සහ මානසික ශක්තියක් ඊට අවශ්‍ය වෙනවා. ඒක මට කරන්න අමාරුයි. ඒ නිසා පක්ෂ නායකත්වය වෙනුවෙන් මා තරග කරන්නේ නැහැ.' යැයි ටෝකියෝ අගනුවර මාධ්‍ය හමුවේ පවසමින්, හිස නමා ආචාර කරමින් යොෂිහිදේ සුගා සමුගත් බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

(ඒ.එෆ්.පී)