රටවල් 4 කින් 4 ක් උඩ යයි


(ලුසිත ජයමාන්න)

ඇමෙරිකාවේ ‘ස්පේස් එක්ස් ඩ්‍රැගන්’ කැප්සියුලයේ ආධාරයෙන්, රටවල් 4 ක් නියෝජනය කරන ගගනගාමීන් 4 දෙනෙක් පෘථිවි කක්ෂයේ රඳවා ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළ බලා පිටත්ව ගියහ. ඔවුන් අතර කාන්තාවක් ද සිටී.

එම ගගනගාමීන් 4 දෙනා වන්නේ ඇමෙරිකා නාසා ආයතනයේ ගගනගාමිනී ජෙස්මින් මොගෙබේලී, යුරෝපා අභ්‍යවකාශ ආයතනයේ ගගනගාමී ඩෙන්මාර්ක ජාතික ඇන්ද්‍රියාස් මෝගෙන්සන්, ජපාන අභ්‍යවනාශ ආයතනයේ සතෝෂි ෆුරුකාවා සහ රුසියන් ගගනගාමී කොන්ස්ටන්ටින් බොරිසෝවිය.

‘ස්පේස් එක්ස් ඩ්‍රැගන්’ කැප්සියුලය, උඩු ගුවනට තල්ලු කෙරුණේ ‘ෆෝල්කන් 9’ රොකට්ටුවේ ආධාරයෙනි. රොකට්ටුව උඩු ගුවන බලා ගියේ ෆ්ලොරීඩාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටය.

පෘථිවි කක්ෂයේ රඳවා ඇති අභ්‍යවකාශ නැවැතුම්පොළේ මාරුවෙන් මාරුවට මාස 6 කට වරක් ගගනගාමීහු රැඳී සිටිති. ඒ, ඔවුන් විවිධාකාරයේ පර්යේෂණවල නිරත වන බැවිනි.

අලුත් ගගනගාමින් සිවු දෙනා නැවැතුම්පොළ බලා යද්දී, එහි රැඳී සිටි ගගනගාමීන් ආපසු පෘථිවිට බලා පැමිණීමට නියමිතය.

ස්තුතිය - නාසා ආයතනය