රයිනෝ සතුන් දඩයම් කිරීම වැළැක්වීමට අං කපා දමයි



දකුණු අප්‍රිකාවේ ප්‍රසිද්ධ සෆාරි උද්‍යාන තුනක  රයිනෝසිරස් සතුන් දුසිම් ගනනකගේ අං කපා ඉවත් කළ බව උද්‍යාන පාලකයෝ පවසති.

කොවිඩ් - 19 ව්‍යාප්ත වීම හේතුවෙන් සංචාරකයන් නොපැමිණීම ප්‍රයෝජනයට ගනිමින් ආයුධ සන්නද්ධ දඩයම්කරුවන් විසින් අං ලබාගැනීම සඳහා සතුන් මරා දැමීම සිදුකරන හෙයින් ඒය වැළැක්වීමට මෙම පියවර ගෙන තිබේ. 

විශේෂඥයින් පවසන්නේ සංචාරකයින් නොමැති වීම හේතුවෙන් දඩයම්කරුවන්ගේ ක්‍රියාකාරකම් වැඩිවී ඇති බවට, මියගිය සතුන්ගේ සිරුරු සාක්ෂි දරන බවයි. 

ජොහැන්ස්බර්ග් හි වයඹ දෙසින් පිහිටි පිලාන්ස්බර්ග් ජාතික වනෝද්‍යානයේ ද මාෆිකෙන්ග් සහ බොට්සලානෝ සෆාරි රක්ෂිතවල ද රයිනෝ සතුන් බොහොමයකගේ අං මෙලෙස ඉවත් කර තිබේ.

විදුලි කියතකින් අං ඉවත් කරන බවත් ඊට පෙර ගැහැණු සතුන් සහ පැටවුන් නොසන්සුන් වීම වැළැක්වීම සඳහා ඉවතට ගෙනයන බවත් සත්ත්ව සංරක්ෂකයෝ පවසති.

වසර මිලියන 30ක පමණ කාලයක සිට රයිනෝ පෘථිවියේ ජීවත් වෙයි. 

දිගින් දිගටම මිනිසුන් විසින් දඩයම් කිරීම හේතුවෙන් අද වනවිට ඔවුන්ගේ සංඛ්‍යාව 27,000ක් දක්වා අඩුවී ඇත.

පසුගිය වසර තුන තුළ දහස් ගනනක් රයිනෝ සතුන් අං ලබා ගැනීම සඳහා මරා දමා තිබෙන බව සංරක්ෂකයෝ පවසති.

රයිනෝ අං කොකේන් හෝ රත්‍රන් වලට වඩා වටිනාකමකින් යුක්තය.

මේවා දකුණු ආසියානු රටවල ඖෂධ නිපදවීම සඳහා යොදාගන්නා නමුත් විශේෂඥයින් පවසන්නේ මිනිස් නියපොතු වල ඇත්තේ ද රයිනෝ අං වල අඩංගු සංඝටකම බවයි.


(රොයිටර් පුවත් ඇසුරිණි - 085)