රහස් ලියවිලි ළඟ තබා ගත්තැයි ට්‍රම්ප්ට චෝදනා


රහස් ලියකියවිලි වැරදි ලෙස පරිහරණය සහ ඒවා ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අධි චෝදනා ගොනු කර තිබේ.

ඒ අනුව, ලබන අඟහරුවාදා (13) ට්‍රම්ප් මියාමි අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිත යැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර තිබේ.

ජනාධිපති ධුරය අහිමි වීමෙන් පසු, ධවල මන්දිරයෙන් පිටවී යද්දී ට්‍රම්ප් එම රහස් ලියවිලි අනවසරයෙන් රැගෙන​ ගොස් ඇතැයි ද පැවැසෙයි.

2024 වසරේ දී ඇමෙරිකන් ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතය. තවත් ධුර කාලයක් ඉතිරි බැවින් ට්‍රම්ප් ද රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් ඊට ඉදිරිපත් වීමට සූදානමින් සිටී.

එල්ල වන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ට්‍රම්ප් පවසා ඇත්තේ තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වැළැක්වීමට ප්‍රතිවාදීන් කුමන්ත්‍රණයක් ආරම්භ කර ඇති බවය.