රාහුල් ගාන්ධි අත්අඩංගුවට


අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂ රජයට එරෙහිව විරෝධතාවකට එක්වුණු කොංග්‍රස් පක්ෂ සභාපති රාහුල් ගාන්ධි පොලිස් අත්අඩංගුවට ගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන්නේ කොංග්‍රස් පක්ෂයයි. පක්ෂ සාමාජිකයන් එක් වී මෝදිගේ රජය විවේචනය කරමින් ඊට විරෝධය පළ කළේ නවදිල්ලි අගනුවර පාර්ලිමේන්තු ගොඩනැගිල්ල සහ රජයේ අමත්‍යාංශ පිහිටි රාජ්පාත් ප්‍රදේශයේ මාර්ග අවහිර කරමිණි.

විරෝධතාවට හේතු වූයේ මූල්‍ය වංචා චෝදනා සම්බන්ධයෙන් යළිත් වරක් රාහුල්ගේ මව මෙන්ම ඉන්දීය කොංග්‍රස් පක්ෂ නායිකාව ද වන සෝනියා ගාන්ධි ඉන්දීය මූල්‍ය බුද්ධි ඒකකයට කැඳවා ප්‍රශ්න කරද්දීය.

සෝනියා ගාන්ධිට පමණක් නොව, රාහුල් ගාන්ධිට ද මූල්‍ය වංචා චෝදනා එල්ල වී තිබේ.

ඉන්දියාව පොලිස් රාජ්‍යයක් වී ඇති බවත්, එහි රජ්ජුරුවෝ නරේන්ද්‍ර මෝදි බවත් පවසමින්, රාහුල් ගාන්ධි සිය පක්ෂ නියෝජිතයන් සහ ආධාරකරුවන් මාර්ග හරස් කරමින් විරෝධතා පවත්වද්දී පොලිසිය ඔවුන් ට හරස් විය.

රාහුල් ගාන්ධි පමණක් නොව, කොංග්‍රස් පක්ෂ නියෝජිතයන් කීප දෙනකු ද පොලිස් අත්අඩංගුවට පත් වුණු බව වාර්තා විය.

(රොයිටර්)