රැජිනගේ ජුබිලියේ කැපී පෙණුනේ ලුවී කුමාරයා


බ්‍රිතාන්‍ය කිරුළ දරා වසර 70 ක් සපිරීම නිමිත්තෙන්, 96 හැවිරිදි දෙවැනි එලිසබත් මහ රැජිනගේ 'ප්ලැටිනම් ජුබිලි' සැමරුම් ලන්ඩන් නුවරදී පැවැත්විණි.

ලන්ඩන් නුවර, බකිංහැම් මාලිගය ඉදිරිපිට වීදියේ හමුදා උත්තමාචාර පෙළපාළි පැවැත්වෙද්දී, මහ රැජින සහ රජ පවුලේ සාමාජික සාමාජිකාවන් එම හමුදා උපහාර පිළිගත්තේ බකිංහැම් මාලිගයේ සඳලු තලයේ සිටය.

බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාව ද රැජිනට උත්තමාචාර දැක්වූයේ ඔවුන් සතු ප්‍රහාරක යානා අහසේ හරඹ දක්වන්න ද විය.

විලියම් කුමරු සහ කේට් මිඩ්ල්ටන් ද එම අවස්ථාවට එක් ව සිටියේ ඔවුන්ගේ දරු පැටවුන් සමඟය.

දරු තිදෙනාගේ බාලයා සිව් හැවිරිදි ලුවී ඒ අතරින් කැපී පෙනුණු අතර, ඔහු මාධ්‍ය හරහාත් සමාජ මාධ්‍ය හරහාත් කතාබහට හේතුවක් ද විය. ඒ, රජ කුමරුකු වුවත් තමන් පොඩි දරුවකු බව ලොවටම පෙන්වමිනි.

රාජකීය ගුවන් හමුදාවේ ජෙට් යානා ඉහළින් පියාසර කරද්දී, එම ඝෝෂාව ලුවී කුමරුන්ට පුංචි කන්වලට කරදරයක් විය.

හමුදා උත්තමාචාර අවසන් වනතුරු මහ රැජින අසල සිටගෙන සිටීම පුංචි කුමාරයාට වදයක් විය.

ඔහු හමුදා සොල්දාදුවන්ට ආචාර කළේ ද අකමැත්ත පෙන්වමිනි. ඒ බව ඔප්පු කිරීමට ඡායාරූප ද ඇත.

ලුවී කුමරුන්ගේ නොයෙක් නොයෙක් විදියේ ඡායාරූප කැමරා ශිල්පීන්ගේ කැමරා කාචවල සටහන් වූ අතර පසුව ඒවා මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් විය.

(ඩේලිමේල් ඇසුරිනි)