රුමේනියාවේ කොරෝනා රෝහලක ගින්නකින් 4 ක් මරුට


රුමේනියාවේ අගනුවර වන බුකාරෙස්ට් හි කොරෝනා රෝගීන් සඳහා ප්‍රතිකාර කරන රෝහලක ඇතිවූ ගින්නකින් රෝගීන් 04දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
 
මාටෙයි බෝල්ස් නම් රෝහලේ අද (29) අලුයම් කාලයේ මෙම ගින්න හටගෙන තිබේ. රෝහලේ එක් ගොඩනැගිල්ලකට හානි සිදුවී ඇති බවත් ගිනි ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත් බලධාරීහු පවසති.
 
ගින්න හටගත් ගොඩනැගිල්ල 1953 වර්ෂයේ ඉදිකරන ලද්දක් වන අතර එය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කර තිබූ බව රෝහලේ කළමනාකරු පවසයි.
 
ගින්න හටගත් අවස්ථාවේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 102දෙනකු ආරක්ෂිතව වෙනත් රෝහල් වලට මාරුකර යැවූ බව බලධාරීහු පවසති. 
 
මෙම රෝහල කොරෝනා රෝගීන් සඳහා ප්‍රථිකාර කරන ප්‍රධානම රෝහල් වලින් එකකි. 
ඉවත් කරන ලද රෝගීන් මධ්‍යම සිට බරපතල කොවිඩ් ආසාදන තත්ත්වයන් වල සිටින අය බවත් බොහෝ දෙනාට ඔක්සිජන් සැපයුම් සම්බන්ද කර තිබූ බවත් රෝහල් පරිපාලනය සඳහන් කරයි.
 
කෙසේවුවද ඉවත් කරන ලද රෝගීන්ට පිළිස්සුම් තුවාල නොමැති බව ඔවුහු පවසති. මේ වනවිට රුමේනියාවේ රෝහල් වල කොරෝනා රෝගීන් 7,700ක් පමණ ප්‍රතිකාර ලබන අතර ඉන් 989ක් දැඩි සත්කාර ඒකක වල සිටිති.
 
රට තුළ මේ වනවිට කොරෝනා රෝගීන් 721,513ක් සහ මරණ 18,105ක් වාර්තා වී තිබේ. පසුගිය නොවැම්බර් මාසයේදි පියට්‍රා නියම්ට් ප්‍රාන්ත රෝහලේ ඇතිවූ ගින්නකින් පුද්ගලයන් 10දෙනක් මියගියහ. රුමේනියාව, යුරෝපා සංගමයට අයත් රටවල් අතරින් අවම සෞඛ්‍ය යටිතල පහසුකම් සහිත රටකි. 
 
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)