රුසියන් මැතිවරණය: පුටින්ගේ පක්ෂයට ජය


රුසියනු පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමට, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ 'එක්සත් රුසියා' පක්ෂය සහ ඊට සහාය දක්වන සෙසු පක්ෂ සමත් විය.

මැතිවරණය පැවැත්වූයේ මහජන නියෝජිතයන් 450 දෙනකු දූමා සභාවට තෝරා ගැනීම සඳහාය‍. රුසියානු පාර්ලිමේන්තුව හැඳින්වෙන්නේ 'දූමා' සභාව යනුවෙනි.

ඡන්ද ප්‍රකාශ කිරීම දින 3 ක් පුරා පැවැත්වුණු අතර, ඊයේ (19) අවසන් විය. ඡන්ද ප්‍රකාශ කිරීම අවසන් වූ සැණින්, ඡන්ද ගණන් කිරීම ආරම්භ වුණු අතර අද (20) උදෑසන සිට ප්‍රතිඵල නිකුත්වීම ඇරැඹිණි.

'කොවිඩ් 19' ආසාදිතයකුගේ මුල් පෙළ ආශ්‍රිතයකු වූ බැවින්, ස්වයං නිරෝධායනයට යොමු වී සිටින රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, නිවසේ සිට ඔන්ලයින් ක්‍රමයට ඡන්දය ප්‍රකාශ කළේය.
අද (20) දහවල් වනවිට සියයට 35 කට වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවක් ගණන් කර අවසන් වෙද්දී, පුටින්ගේ 'එක්සත් රුසියා' පක්ෂය සියයට 45 ට වැඩි ඡන්ද ප්‍රතිශතයක් දිනා ගත් බව මැතිවරණ කොමිසම නිවේදනය කළේය.

එම අවස්ථාවේදී, රුසියාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ වන 'කොමියුනිස්ට්' පක්ෂය සහ 'ජාතිකවාදී එල්.ඩී.පී.ආර්' පක්ෂයට දිනා ගැනීමට හැකිවී තිබුණේ සියයට 22 ක සහ සියයට 9 ක ඡන්ද ප්‍රතිශතයක් පමණක් බව ද පැවැසිණි.

රුසියාවේ විපක්ෂ දේශපාලන පක්ෂ සහ ක්‍රියාකාරීන් රුසියන් රජය දැඩි ලෙස මර්දනයට ලක් කරයි. මෙවර මැතිවරණයට ඉදිරිපත් වීමට සැරසුණු අපේකෂකයන් 14 දෙනකුට අධිකරණය තහංචි පනවා තිබුණි.

(රොයිටර්)