රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට තමන් කරුණු 12 කින් සමන්විත සාම සැලැස්මක් සකස් කළ බව චීනය කියයි.
රුසියානු රජය සහ යුක්රේන රජය එම සාම සැලැස්ම ගැන කඩිනමින් අවදානය යොමු කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව චීන විදේශ කටයුතු අමත්‍යාංශය පවසා තිබේ.
චීන රජය සකස් කළ එම සාම සැලැස්මේ ප්‍රධාන අරමුණ වන්නේ සාම සාකච්ඡා පවත්වා දේශපාලනික වශයෙන් පොදු එකඟතාවක් ඇති කර ගැනීම යැයි ද පැවැසෙයි.
චීනය මෙසේ රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට සාම සැලැස්මක් සකස් කළේ රුසියන් යුක්රේන යුද්ධය ආරම්භ වී වසරක් ගතවෙද්දීය. චීන රජයේ විශේෂ නියෝජිත වැංග් ඊ, රුසියාවේ මොස්කව් නුවරදී රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුණගැසී මෙම සාම වැඩපිළිවෙළ පුටින්ට ලබා දුන්නේය.
චීනය සකස් කර ඇති එම සාම සැලැස්ම සටන් විරාමයකින් ආරම්භ කිරීමට යෝජනා කර තිබේ. සටන් විරාමය සාර්ථක වන්නේ නම්, රුසියන් සහ යුක්රේන නියෝජිතයන් අතර සාකච්ඡා ආරම්භ වනු ඇතැයි පැවැසෙයි.
සාම සාකච්ඡාවල සාර්ථකත්වය අනුව, බටහිර රටවල් රුසියාවට පැනැවූ සම්බාධක ලිහිල් කිරීමට තමන් එම බටහිර රටවලින් ඉල්ලීමක් කරන බව ද චීනය පවසා තිබේ.
යුක්රේනයේ න්‍යෂ්ටික බලාගාරවල ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් ද චීනයේ අවධානය යොමු වී ඇත. රුසියන් සහ යුක්රේන හමුදා අතර සිදුවන අවි ගැටුම්වලින් යුක්රේන න්‍යෂ්ටික බලාගාරවලට හානි වුවහොත් එය යුරෝපා කලාපයට පමණක් නොව මුළු ලොවටම විශාල තර්ජනයක් යැයි චීන විදේශ අමත්‍යාංශය වැඩි දුරටත් පෙන්වා දී ඇත.
මේ අතර චීනය සකස් කළ එම සාම සැලැස්මට අදාල වාර්තාව තවමන්ට ලැබී නැතැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසා ඇත.
(ඒ.එෆ්.පී.)