රුසියන් යුක්රේන යුද්ධයට වසරයි


රුසියාව, යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කර වසරක් ගත වී ඇත.

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හෝ බටහිර සහාය ලබන යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හෝ සාමයට උනන්දු නොවන බැවින්, රුසියන් යුක්රේන යුද්ධය අද හෙට අවසන් නොවනු ඇති බවත් තවත් වසර ගණනක් දිග්ගැස්සෙනු ඇති බවත් දේශපාලන විශ්ලේෂකයෝ පැහැදිලි කරති.

පසුගිය දා, පෙර දැනුම් දීමකින් තොරව, යුක්රේනයේ කීව් අගනුවරට  ගිය ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී හමුවේ ප්‍රතිඥා දුන්නේ, රුසියන් යුක්රේන යුද්ධය කොතරම් කලක් දිග්ගැස්සුණත්, ඇමෙරිකාවේ සහාය දිගටම යුක්රේන රජයට හිමිවනු ඇති බවය.

මේ වනවිට රුසියාව, කැනඩාව, ප්‍රංශය සහ ජර්මනිය ඇතුළු රටවල් දිගින් දිගට යුක්රේනයට අවි ආයුධ සහ යුදෝපකරණ ලබා දෙයි. යුද ටැංකි සහ මිසයිල පද්ධති ලබා දෙයි.

යුක්රේන හමුදාව, රුසියන් ප්‍රහාරවලින් ආරක්ෂා වන්නේ මෙසේ ඔවුන්ට බටහිරින් ලැබුණු අවි ආයුධවලිනි. තමන්ට ප්‍රහාරක ජෙට් යානා ලබා දෙන්නැයි ද යුක්රේන ජනාධිපති සෙලේන්ස්කී බටහිර රටවලින් ඉල්ලීමක් කර තිබේ.

2021 වසරේ, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී, ‘නේටෝ’ සාමාජිකත්වය අපේක්ෂා කළේය. රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඊට තදින් විරුද්ධ විය. යුක්රේනය දිගින් දිගටම ‘නේටෝ’ සාමාජිකත්වය ඉල්ලා සිටින්නේ නම්, යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් ගන්නා බවට පුටින් තර්ජනය කළේය.

යුක්රේන ජනාධිපති එම තර්ජන ගණනකට ගත්තේ නැත. ඒ අනුව, ඒ අනුව, පසුගිය 2022 වසරේ පෙබරවාරි 24 වැනිදා රුසියාව යුක්රේනය ආක්‍රමණය කළේය. රුසියන් ආක්‍රමණය හේතුවෙන් උන්හිටිතැන් අහිමි වුණු යුක්රේන වැසියන් ගණන මිලියන 7 කට වැඩිය.

‘නේටෝ’ යනු ඇමෙරිකාව, කැනඩාව ඇතුළු බටහිර යුරෝපා රටවල් රුසියාවට එරෙහිව පිහිටුවාගත් යුද සන්ධානයයි. යුක්රේනයට ‘නේටෝ’ සාමාජිකත්වය හිමිවීම රුසියාවට විශාල තර්ජනයකි.

(ඒ.එෆ්.පී.)