රුසියාව අල්ලා ගත් යුක්රේන ප්‍රදේශවල ජනමත විමසුම්


රුසියන් හමුදා විසින් අල්ලා ගනු ලැබ සිටින නැගෙනහිර යුක්රේනයේ, ඩොනෙස්ක්, ලුහාන්ස්ක්, සැපොරෝෂ් සහ කර්සෝන් යන පළාත්වල ජනමත විමසුම් පැවැත්විණි. ඒ, යුක්රේනයෙන් වෙන්වී රුසියාවේ කොටසක් වීමට එම පළාත්වල වැසියන්ගේ කැමැත්ත විමසමිනි.

ජනමත විමසුමේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් වී අවසන් බවත්, යුක්රේනයේ, ඩොනෙස්ක්, ලුහාන්ස්ක්, සැපොරෝෂ් සහ කර්සෝන් යන පළාත්වල බහුතරය, යුක්රේනයෙන් වෙන්වී රුසියාව සමඟ එක් වීමට කැමැත්ත පළ කර තිබේ.

අවසන් වරට ජනමත විමසුම පැවැත්වූයේ කර්සොන් පළාත කේන්ද්‍රකොට ගනිමිනි. එම පළාතේ වැසියන්ගෙන් සියයට 87 කට වඩා කැමැත්ත පළ කර ඇත්තේ රුසියාව සමඟ එක් වීමටය. සැපොරෝෂ් පළාතේ සියයට 93 ක් රුසියාව සමඟ එක් වී රුසියන් පාලනයක් යටතේ ජීවත් වීමට කැමැත්ත පළ කර ඇත.

ඊට අමතරව, ඩොනෙට්ස්ක් පළාතේ ජනතාවගෙන් සියයට 99ක් ද ලුහාන්ස්ක් පළාතේ ජනතාවගෙන් සියයට 98 ක් ද රුසියාව සමඟ එක් වීමට කැමැත්ත පළ කර ඇතැයි රොයිටර් පුවත් සේවය පවසා තිබේ.

රුසියාව පැවැත්වූ මෙම ජනමත විමසුම කිසිසේත් පිළිනොගන්නා බව ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් පවසා තිබේ. ජනමත විමසුම් හේතුවෙන් යුද්ධය අවසන් කිරීම සඳහා රුසියාවත් සමඟ තවදුරටත් රාජ තාන්ත්‍රික සාකච්ඡා පැවැත්වීම කළ නොහැකි බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි පෙන්වා දී තිබේ.

(රොයිටර්)