යුක්රේනයට එරෙහිව ආරම්භ කළ හමුදාමය ක්‍රියාමාර්ගය වහා අවසන් කර, සාම වැඩපිළිවෙළකට නොගියොත්, යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් ගැනීම සම්බන්ධයෙන් රුසියාවට පරම්පරා ගණනක් පසුතැවීමට සිදුවනු ඇතැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ අණ පරිදි රුසියන් හමුදා යුක්රේනය ආක්‍රමණය කිරීම ආරම්භ කළේ පසුගිය පෙබරවාරි 24 වැනිදාය. යුක්රේන හමුදාවෙන් රුසියන් හමුදාවට දිගින් දිගටම ප්‍රහාර එල්ල වෙද්දී, රුසියන් හමුදාවේ 10,000 කට වැඩි සෙබළුන් පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි ද බටහිර මාධ්‍ය පවසයි.
“යුද්ධයේ අවශ්‍යතාව තිබෙන්නේ රුසියන් ජනාධිපති පුටින් ප්‍රමුඛ රුසියන් රජයේ ඉහළ පෙළ කිහිප දෙනකුට පමණයි. රුසියන් වැසියන් යුද්ධයකට කැමැත්ත දක්වන්නේ නැහැ. යුක්රේන ආක්‍රමණයට ගිය රුසියන් සොල්දාදුවන් පවා හරිහැටි දන්නේ නැහැ ඔවුන් යුද්ධ කරන්නේ ඇයි කියලා” යැයි යුක්රේන ජනාධිපති සෙලෙස්කී පවසා තිබේ.
මේ අතර රුසියන් යුක්රේන ගැටුම් හේතුවෙන් යුක්රේනයේ මිලියන 6.5 කට සදහටම ඔවුන්ගේ ගම්බිම් සහ නිවාස අහිමි වී ඇති බවත්, මිලියන 3.3 ක් යුක්රේනය අතහැර ගොස් ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. රුසියන් ප්‍රහාර හේතුවෙන් මියගිය යුක්රේන වැසියන් ගණන 847 තෙක් ඉහළ ගොස් ඇතැයි යුක්රේන රජය නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙයි.
(රොයිටර්)