රුසියාවේ එන්නත වියට්නාමය නිපදවයි


'ස්පුට්නික් 5' කොරෝනා වයිරස එන්නත වියට්නාමයේදී නිෂ්පාදනය ආරම්භ කළ බව රුසියාව පවසයි.

'ස්පුට්නික් 5'  ප්‍රතිශක්තිකරණ එන්නත නිපදවා ඇත්තේ රුසියානු රජයට අයත් 'ගැමලේයා' වෛදඨ පර්යේෂණ සමාගමය. එය විදේශවලට අලෙවිය සිදුවන්නේ, රුසියානු සෘජු ආයෝජන අරමුදල හරහාය.

'ස්පුට්න්කි 5' වියට්නාමයේ නිපදවීම සිදුවන්නේ, වියට්නාම රජයට අයත් 'වබියෝටෙක්' සමාගම සමඟ ඇතිකරගත් ගිවිසුමකට අනුවය.

'වබියෝටෙක්' ඖෂධ නිෂ්පාදන සමාගම හරහා නිපදවීම කළ පළමු එන්නත් තොගය නියමිත ප්‍රමිතියට අනුව තිබෙනවාදැයි සොයා බැලීමට 'ගැමලේයා' වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත ගෙන්වා ගත් බව රුසියානු රජය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

ලෝකයේ පළමුවෙන් නිපදවූ සහ ලියාපදිංචි කළ කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත වන්නේ 'ස්පුට්නික් 5' ය. මෙය මාත්‍රා දෙකක එන්නතක් වන අතර, පළමු සහ දෙවැනි මාත්‍රා ලෙස ලබා දෙන්නේ එකිනෙකට වෙනස් මාත්‍රා දෙකකි.

තවමත් හදිසි භාවිතයට සුදුසු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 'ස්පුට්නික් 5' සඳහා අනුමැතිය ලබා දී නැත. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත්තේ ප්‍රමාණවත් දත්ත නොමැති නිසා එන්නතට අනුමැතිය ලබා දිය නොහැකි බවය.

කෙසේ නමුත් මේ වනවිටත්  ලෝකයේ රටවල් රැසක් 'ස්පුට්නික් 5' එන්නත් මිලදී ගෙන ඒවා භාවිතයට ගැනීම සිදුවෙයි.
මේ වනවිට වියට්නාමයෙන් ද යළි කොරෝනා ආසාදිතයන් වාර්තා වෙමින් පවතී. වියට්නාමය යනු පළමු කොරෝනා රැල්ල ඉතා සාර්ථක ආකාරයට මර්දනය කරගත් ආසියානු රටකි.

(රොයිටර්)