රුසියාවේ ප්‍රධාන විපක්ෂ ක්‍රියාකාරික ඇලෙක්සි නවාල්නි අත්අඩංගුවට


රුසියාවේ ප්‍රධාන විපක්ෂ ක්‍රියාකාරිකයකු වන ඇලෙක්සි නවාල්නි රටට ඇතුළු වූ අවස්ථාවේදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

නොවිචොක් විස ශරීර ගත වීම හේතුවෙන් හෙතෙම ජර්මනියේ නැවැතී ප්‍රතිකාර ලැබූ අතර මාස පහකට පසු ඊයේ (17) නැවත රුසියාවට පැමිණියේය.

ඒ අවස්ථාවේදී ඔහු මෙලෙස අත්අඩංගුවට පත්විය. පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ඔහුගේ ශරීරයට විස ඇතුළු වූ අතර ඔහු දිවි ගලවා ගත්තේ යන්තමින් යැයි පැවසුණි. මාස පහකට පසු හෙතෙම ඊයේ රුසියාවට පැමිණි අතර මොස්කව් ගුවන් තොටුපොළේ දී හෙතෙම එලෙස අත්අඩංගුවට පත්විය.

නවාල්නිට මීට අත්හිටවූ සිර දඬුවම් නියම වී තිබෙන අතර ඒවාට ගර්හා කිරීම හේතුවෙන් ඔහුට වසර තුනහාමාරක සිර දඬුවම් නියම වනු ඇතැයි පැවසේ.

මෙම සිදුවීම් හේතුවෙන් බටහිර රටවලින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට විවේචන මාලාවක් එල්ල වනු ඇතැයි පැවසේ.

නවාල්නි සම්බන්ධයෙන් කෙරුණු පරීක්ෂණවලදී ඔහුට ලබා දී ඇත්තේ නොවිචොක් නමැති විස රසායනය යැයි ජර්මානු ආරක්ෂක අංශ අනාවරණය කරගත් අතර ක්‍රෙම්ලීනය එම සොයාගැනීම් ප්‍රතික්ෂේප කළේය.

නවාල්නි රැගත් ගුවන් යානය ගොඩ බෑවේ නියමිත ගුවන් තොටුපොළේ නොවේ වෙනත් ගුවන් තොටුපොළක ය. නවාල්නි පිළිගැනීම සඳහා ඔහුගේ ආධාරකරුවන් සහ මාධ්‍යවේදීන් රැසක් ගුවන් යානය පැමිණීමට නියමිතව තිබූ ගුවන් තොටුපොළට පැමිණ තිබිණි.

නවාල්නි නැවත රුසියාවට පැමිණෙන බව පසුගිය සතියේදී නිවේදනය කෙරුණි. ඒ සමඟ ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා මොස්කව් නුවර බන්ධනාගාර සේවය පැවැසීය.

නවාල්නි 2014 වසරේ හිමි වූ අත්හිටවූ සිර දඬුවමකට අදාළ කොන්දේසි කඩ කළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ.

(රොයිටර්/ඒ.එෆ්.පී.)

055