ලැව් ගින්නෙන් නගරයක් මුළුමනින්ම වැනසිලා


ලැව් ගිනි හේතුවෙන්, ඇමෙරිකාවට අයත් හවායි දූපත් රාජ්‍යයේ, මවුයි දූපතේ, නගරයක් මුළුමනින්ම විනාශ වී ඇතැයි වාර්තා වේ. ලැව් ගින්නට හසුවී මියගිය ගණන 89 තෙක් ඉහළ ගොස් ඇත.

ලැව් ගින්නට හසුවීමෙන් තවත් 100 කට වැඩි පිරිසක් අතුරුදන් බවත්, මියගිය ගණන තවත් ඉහළ යා හැකි බවත් හවායි බලධාරීහු බිය පළ කරති.

ලැව් ගින්නෙන් සිදුවුණු හානිය ඇමෙරිකන් ඩොලර් බිලියන 5 ක් යැයි ගණන් බලා ඇත. හවායි වැසියන් චෝදනා කරන්නේ ලැව් ගින්න පැතිරෙන බව කිසිදු බලධාරියකු ඔවුන්ට කල්තියා අනතුරු ඇඟවීම් නොකළ බවය.

ලැව් ගින්නට හසුවිමෙන් නිවාස සහ ගොඩනැගිලි 2,000 ක් විනාශ වී ඇතැයි ද පැවැසෙයි. හවායි දූපත්වල සංචාරක ස්ථාන සහ ඓතිහාසික ස්ථාන රැසක් ද ලැව් ගින්නට හසුවීමෙන් විනාශ වී තිබේ. හවායි දූපත් කැලඹූ දරුණුතම ආපදා තත්ත්වය මෙම ළැව් ගිනි යැයි ද පැවැසෙයි.